චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය දීපවාලි උත්සවය සමරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය දීපවාලි උත්සවය සමරයි

 'ආලෝක මංගල්‍යය' නමින් හැඳින්වෙන දිවාලි උත්සවය (දීපවාලි), ඉන්දියාව සහ ලොව පුරා විසිරී සිටින හින්දු, ජෛන සහ සික් බැතිමතුන් විසින් සමරනු ලබන උත්සවයකි. මෙම උත්සවය අතරතුර, නිවෙස්, කෝවිල් සහ වැඩබිම් පොල්තෙල් පහන්, ඉටිපන්දම් සහ පහන් කූඩුවලින් ඒකාලෝක කෙරේ. දිවාලි උත්සවය සඳහා ගිනිකෙළි සහ කෝලම් සැරසිලි ද යොදාගැනේ. මෙහිදී ආහාර සඳහා ප්‍රධාන අවධානයක් යොමු කෙරෙන අතර,  පවුල්වල සාමාජිකයන් උත්සවවලට සහභාගී වෙමින් රසකැවිලි (මිතායි) බෙදා හදාගනී. මෙම උත්සවය මඟින් පවුල් සඳහා පමණක් නොව, ප්‍රජාවන් සහ සංගම්වලට ද සිය බැඳීම් වාර්ෂිකව තහවුරු කරගැනීමට අවස්ථාව උදා වේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින්, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් 2022 ඔක්තෝම්බර් 28 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී දීපවාලි රාත්‍රියක් සංවිධානය කරන ලදී. නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, ලංකා බැංකුව, චෙන්නායි හි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, මෙන්ම දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය, සුභ පතන්නන්, දකුණු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

තමිල්නාඩුව තුළ සිදු වූ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියෙන් පසුව දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද පළමු මහජන උත්සවය මෙය වන බැවින්, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මැතිතුමා, 2021 වසරේ සිට සිය දූත මණ්ඩලය ලැබූ ප්‍රගතිය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළේ ය. ඊට අමතරව, දකුණු ඉන්දීය නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් සහ දේශපාලනඥයෙක් වන එස්. වෙ. ෂේකර් මහතා පරිත්‍යාග කළ පොත්පත් තොගයක් ද එතුමා භාරගත්තේ ය.

 නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සහ ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් සංස්කෘතික අංග ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දීය ප්‍රණීත ආහාරවලින් සමන්විත රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම උත්සවය අවසන් කෙරිණි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 නොවැම්බර් 01 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close