තානාපති සමරසිංහ මැතිතුමා ඇමරිකානු රාජ්‍ය සංවිධානය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

 තානාපති සමරසිංහ මැතිතුමා ඇමරිකානු රාජ්‍ය සංවිධානය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවලට සමගාමීව අක්ත ගන්වා ඇති එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 28 වැනි සිකුරාදා දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ (OAS) මූලස්ථානයේ දී, එහි මහලේකම් තානාපති ලුයිස් අල්මාග්‍රෝ මහතා හමුවිය. මෙම තත්ත්වය හිමි රටවල් 71 න් එකක් ලෙස සහ, එම සංවිධානයේ නිත්‍ය නිරීක්ෂකයෙකු ලෙස එතුමා මෙලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වී ය. ශ්‍රී ලංකා තානාපතිවරයා  මහලේකම්වරයා (උරුගුවේ හි හිටපු තානාපතිවරයකු, විදේශ අමාත්‍යවරයකු සහ සෙනෙට් සභිකයකු වේ) සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විස්තර කළේ ය.

ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ රටවල සාපේක්ෂ වශයෙන් නේවාසික රාජ්‍යතාන්ත්‍රික නියෝජනයක් නොමැති බවත්, සාමාජික රටවල් 35 තුළ දූත මණ්ඩල හතරක් (එක්සත් ජනපදය, කැනඩාව, බ්‍රසීලය සහ කියුබාව) පමණක් ක්‍රියාත්මක වන බවත් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. අනෙකුත් රාජ්‍ය සමඟ සිය සබඳතා පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය සංවිධානය සතු හොඳ තත්ත්වයෙන් යුත් කාර්යාල භාවිතා කළ හැකිදැයි තානාතිවරයා මෙහිදී මහ ලේකම්වරයාගෙන් විමසී ය. මේ සඳහා දිරිගන්වනසුළු සහ ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණි.

ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ රටවල් සමඟ වෙළඳාම තවදුරටත් පුළුල් කිරීම සඳහා පවතින ශක්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මහ ලේකම්වරයා එවැනි මුලපිරීම් පැසසුමට ලක් කළේ ය. තානාපති සමරසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස තානාපති අල්මාග්‍රෝ මැතිතුමාට ආරාධනා කළ අතර මහ ලේකම්වරයා එම යෝජනාවට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන්නේ ය.

නිත්‍ය නිරීක්ෂකයින් ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ මහා සභාවට, එහි නිත්‍ය කවුන්සිලයට සහ ඔවුන්ගේ ප්‍රධාන කමිටුවල පොදු රැස්වීම්වලට සහ අදාළ මූලාසන නිලධාරියාගේ ඇරයුම පරිදි, එම ආයතනවල සංවෘත රැස්වීම්වලට සහභාගී වේ. ඔවුන්ට සංවිධානයේ ලේඛන සහ ප්‍රකාශන ද ලැබෙන අතර ඇමරිකානු රාජ්‍ය සංවිධානය විසින් කැඳවනු ලබන විශේෂිත සම්මන්ත්‍රණ සහ වෙනත් රැස්වීම්වලට සහභාගී වීමට ද ඇරයුම් ලැබේ. ස්ථීර නිරීක්ෂකයින් පුහුණු අවස්ථා, විශේෂඥ සේවා, උපකරණ සහ මුදල් දායකත්වයන් හරහා ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ විවිධ වැඩසටහන් සඳහා සිය සහය ලබා දෙති. විශේෂිත ව්‍යාපෘති සහ ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා වෙන් කළ මූල්‍ය දායකත්වය, තාක්ෂණික සහය, වෘත්තීය පුහුණු අවස්ථා, හොඳම භාවිතයන් බෙදාගැනීම මෙන්ම අධ්‍යයන ශිෂ්‍යත්ව යනාදිය නිත්‍ය නිරීක්ෂකයින් සමඟ ඇමරිකානු රාජ්‍ය සංවිධානය පවත්නා සහයෝගීතාවට ඇතුළත් වේ.

ඇමරිකානු රාජ්‍ය සංවිධානය, එකම වේදිකාවක රැඳෙමින් සියලුම සාමාජික රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා අද්විතීය සංසදයක් නිර්මාණය කරන අතර, බටහිර අර්ධගෝලයේ සියලුම රටවල් තුළ සිය ක්‍රියාකාරීත්වය  තහවුරු කිරීමට නොහැකිව ඇති නිත්‍ය නිරීක්ෂකයින් සඳහා ඵලදායී අයුරින් සහයෝගීතාව සලසන පහසුකම් සපයන්නෙකු ලෙස සේවය කිරීමේ හැකියාව ද එය සතුව පවතී. ඇමරිකානු රාජ්‍ය සංවිධානය අන්තර්-ඇමරිකානු මට්ටමෙන් රාජ්‍ය බලධාරීන් සහ පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට ගෙන එන ප්‍රධාන දේශපාලන සංසදය වන බැවින්, නිත්‍ය නිරීක්ෂකයින් ද ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ සාමාජික රාජ්‍යයන් අතර වඩාත් ඵලදායී සෘජු මැදිහත්වීමක් පැවැත්වීම සහ දෘශ්‍යතාවක් පිළිඹිබු කිරීම  ඔස්සේ  ප්‍රතිලාභ ලබයි.  නිත්‍ය නිරීක්ෂකයින්ට සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් හෝ ක්‍රියාකාරීත්වයක් පැවැත්විය නොහැකි උප-ජාතික මට්ටමේ කුඩා රටවල් සහ කලාප සම්බන්ධයෙන් ගත් කල, එකම රටවල අවශ්‍යතා පිළිබඳ ගැඹුරු දැනුමක් ද මෙමඟින් ලැබේ. OAS සමස්ත අර්ධගෝලය තුළ සිය ජාතික කාර්යාල පිහිටුවා ඇති බැවින්, නිත්‍ය නිරීක්ෂකයින්ට සිය තානාපති කාර්යාල හරහා දේශීය  මට්ටමෙන් අන්තර්ක්‍රියා පැවැත්වීමට ඉඩහසර සැලසේ.

ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ මූලස්ථානයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද මෙම රැස්වීමට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2022 ඔක්තෝබර් 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close