‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ (Friends of Sri Lanka) සමූහය යුරෝපා පාර්ලිමේන්තුවේ දී යළි ස්ථාපිත කෙරේ

 ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ (Friends of Sri Lanka) සමූහය යුරෝපා පාර්ලිමේන්තුවේ දී යළි ස්ථාපිත කෙරේ

යුරෝපා පාර්ලිමේන්තුවේ  ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහය 2022 ඔක්තෝම්බර් 25 වැනි දින බ්‍රසල්ස් හි පිහිටි ශ්‍රී ලංකා කාර්යාලයේ දී යළි ස්ථාපිත කරන ලදී.  ඒ අනුව, යුරෝපීය පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන යුරෝපීය මහජන පක්ෂය (EPP) නියෝජනය කරන චෙක් ජනරජයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී  ටොමාස් සෙචොව්ස්කි මැතිතුමා  ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහයේ සභාපති වශයෙන් ද, අනන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය (ID) නමැති පක්ෂයේ සාමාජිකයකු වන ජර්මානු ජාතික, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මැක්සිමිලියන් ක්‍රාහ් මැතිතුමා උප සභාපති වශයෙන් ද ලද පත්වීම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ග්‍රේස් ආසිර්වතම් මැතිනිය විසින් මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී.   යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී   සෙචොව්ස්කි මැතිතුමා, යුරෝපීය පාර්ලිමේන්තුවේ දකුණු ආසියාවේ රටවල් (DSAS) ආශ්‍රිත සබඳතා සඳහා වූ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකි. යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී   මැක්සිමිලියන් ක්‍රාහ් මැතිතුමා, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තු කමිටුවේ (INTA) දකුණු ආසියාවේ ස්ථාවර වාර්තාකරු වේ.

මෙම අභිනව ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහය, යුරෝපීය මහජන පක්ෂය (EPP), සමාජවාදීන්ගේ සහ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රගතිශීලී සන්ධානය (S&D), යුරෝපය යළි ශක්තිමත් කරමු (Renew), අන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය (ID), යුරෝපීය කොන්සර්වේටිව් සභිකයින් සහ ප්‍රතිසංස්කරණවාදීන් (ECR), යුරෝපීය එක්සත් වම-නෝර්ඩික් හරිත වම (GUE-NGL) වැනි විවිධ දේශපාලන පක්ෂවලට අයත් බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, බල්ගේරියාව, ලිතුවේනියාව, ලැට්වියාව, පෘතුගාලය, හංගේරියාව සහ ස්ලෝවේනියාව යන රටවල මහජන නියෝජිතයින් විසි දෙදෙනෙකු ඇතුළත් කොට පිහිටුවා ඇත.

මෙහිදී සිය අදහස් පළ කළ තානාපති ආසිර්වතම් මැතිනිය, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය මෙන්ම යුරෝපා සංගම් - ශ්‍රී ලංකා සබඳතාවල තත්ත්වය පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහය දැනුම්වත් කළා ය. අභිනවයෙන් පත් වූ සභාපතිවරයා වන  යුරෝපීය සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙචොව්ස්කි මැතිතුමා සහ උප සභාපතිවරයා වන යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රාහ් මැතිතුමා ශ්‍රී ලංකාව සහ යුරෝපා පාර්ලිමේන්තුව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිය අදහස් හුවමාරු කර ගත්හ. තවද, ශ්‍රී ලංකාව සමඟ අන්තර්ක්‍රියා පැවැත්වීම සහ නියැලීම සම්බන්ධයෙන් මෙම සමූහය පණගැන්වීමට ද සහතික වූහ.

යුරෝපා පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහය, යුරෝපා පාර්ලිමේන්තුවේ එක්සත් රාජධානියේ ECR පක්ෂයේ සාමාජිකයින්ගේ සහය ඇතිව 2006 වර්ෂයේ දී පිහිටුවන ලදී. මෙම සමූහය, යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකාවට සහය දක්වන නිල නොවන යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකි.අභිනවයෙන් තේරී පත් වූ යුරෝපීය පාර්ලිමේන්තුවේ ‘ශ්‍රී ලංකාවේ මිතුරෝ’ සමූහය බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2019 වර්ෂයේ ජූලි මාසයේ දී ස්ට්‍රාස්බර්ග්හි දී අවසන් වරට යළි පිහිටුවන ලදී. කෙසේ වුවද, බ්‍රෙක්සිට් (BREXIT) සිදුවීමෙන් පසුව, මෙම සමූහයේ බහුතරයක්ව සිටි එක්සත් රාජධානියේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් ඉවත් වීම හේතුවෙන් සමූහය අභාවයට පත් විය.එක්සත් රාජධානියේ හිටපු යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි වැන් ඕර්ඩ්න් මැතිතුමා මෙම සමූහයේ ආරම්භයේ සිට 2020 වර්ෂයේ ජනවාරි මස සිදු වූ බ්‍රෙක්සිට් (BREXIT) සිදුවීම තෙක් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැන නැගි සීමා හේතුවෙන් මෙම සමූහය යළි පිහිටුවීමේ කටයුතු ප්‍රමාද විය.

මෙම අවස්ථාවට ඇතුළත් කොට තිබූ ශ්‍රී ලාංකික නර්තනාංග, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ වාර්තා චිත්‍රපටය සහ ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහය මඟින් එම අවස්ථාවට  විචිත්‍රවත් බවක් ගෙන ඒමට හැකිවිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 ඔක්තෝබර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close