ලංකා කුරුඳුවල EU-PGI තත්ත්ව සහතිකය බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කෙරේ

ලංකා කුරුඳුවල EU-PGI තත්ත්ව සහතිකය බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කෙරේ

 යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳුලංකා කුරුඳු කුඩුලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන්  ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහා මෙන්ම ලංකා කුරුඳු බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ඔක්තෝම්බර් 18 වැනි දින උත්සවයක් පවත්වන ලදී. යුරෝපීය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලවල නිලධාරීන්යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවය (EEAS) සහ බෙල්ජියම් රජයේ නිලධාරීන් මෙන්ම බෙල්ජියමේ විවිධ නිෂ්පාදන සඳහා කුරුඳු ආනයනය කිරීමේ හෝ භාවිතා කිරීමේ යෙදී සිටින ව්‍යාපාරික ආයතනවල නියෝජිතයින් සහ මාධ්‍ය ආයතන මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. යුරෝපීය කොමිසමේ කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG AGRI) ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ ජෝන් ක්ලාක් මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට  සහභාගී විය. එතුමා නිෂ්පාදන සඳහා වන PGI තත්ත්ව සහතිකය පිළිබඳ කටයුතු  හසුරුවයි.  ලෝක කුරුඳු වෙළඳපොළ තුළ උසස් තත්ත්වයේ සැබෑ කුරුඳු ලෙස පිළිගෙන ඇති PGI තත්ත්වය සහිත ලංකා කුරුඳු පිළිබඳව දැනුම්වත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.යුරෝපීය කලාපය බොහෝ දුරට ලංකා කුරුඳු සඳහා ලාභදායී ආදේශකයක් වශයෙන් කැසියා කුරුඳු භාවිතා කෙරේ.

ලංකා කුරුඳු සඳහා අවශ්‍ය වන PGI තත්ත්ව සහතිකය සහ යුරෝපා සංගම් කලාපයේ නිෂ්පාදකයන්ට,  අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට සහ පාරිභෝගිකයින්ට එමඟින්  ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ හැඳින්වීමක් තානාපති ග්‍රේස් ආසිර්වාතම් මැතිනිය විසින් ඉදිරිපත් කරන ලදී. ලංකා කුරුඳු ශ්‍රී ලංකාවට උරුමයක් සහ අභිමානයක් වන බව පැවසූ තානාපතිනිය, ලංකා කුරුඳු ප්‍රවර්ධනය කරන අතරම, ලංකා කුරුඳු හා සබැඳි ප්‍රබෝධජනක කතා පුවත ලෝකය සමඟ බෙදා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවද පැවසී ය. තවද, ලංකා කුරුඳු සඳහා ලෝක වෙළඳපොළෙන් 80% ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව, ලංකා කුරුඳුවල සැබෑ නිවහන වන බැවින්, යුරෝපා සංගමයේ සහ ජාත්‍යන්තර වෙළඳපොළේ සුවිශේෂී වෙළඳපොළ කොටස් තුළට පිවිසීමට PGI තත්ත්ව සහතිකය භාවිතා කරන බවට විශ්වාසයක් පවතින බවද තානාපතිනිය මෙහිදී සඳහන් කළා ය.

තානාපතිනිය සිදු කළ ඉදිරිපත් මඟින් ලංකා කුරුඳු සහ කැසියා කුරුඳු අතර ඇති වෙනස්කම්, ලංකා කුරුඳුවල උසස් තත්ත්වය, සුවිශේෂී නිෂ්පාදන ක්‍රියාවලිය, අද්විතීය රසය සහ සුවඳ, සිහින් බවින් යුත් ඝනත්වය, සියුම් රසය සහ බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා දායක වන ගුණාංග සහ ඉතා අඩු මට්ටමේ කූමරින්වල වැදගත් ලක්ෂණ යනාදිය විශේෂාකාරයෙන් අවධාරණය කෙරිණි. එබැවින් මෙම කුරුඳු පාරිභෝගිකයින් සඳහා සුදුසු  සෞඛ්‍ය සම්පන්න තේරීමක් බවට පත් වේ. රැස්ව සිටි පිරිස ඇමතූ අධ්‍යක්ෂ ජෝන් ක්ලාක් මහතා ශ්‍රී ලංකාවට සුබ පැතූ අතර යුරෝපා සංගම් කලාපයට ලංකා කුරුඳු අපනයනය ඉහළ නැංවීම සඳහා PGI තත්ත්ව සහතිකය උපරිමයෙන් භාවිතා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කළේ ය.

ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, ශ්‍රී ලාංකික සමාගම් දහතුනක (13) තොරතුරු බෙදා ගන්නා ලද අතර, බෙල්ජියමේ ශක්‍යතා සහිත ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අතර ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගම්වල නිෂ්පාදන සාම්පල ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලද වර්ජර් නැචුරල්ස් (පුද්) සමාගම, ඇල්පිටිය ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම, ලක් සිනමන් ප්ලාන්ටර්ස් ඇන්ඩ් එක්ස්පෝටර්ස් ගෲප් (පුද්) සමාගම, ඩයමන්ඩ් ඉන්ටර්නැෂනල් ලංකා (පුද්) සමාගම, සංජීවක ආයුර්වේදික් ප්‍රඩක්ට්ස් (පුද්) සමාගම, Hddes එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්) සමාගම, නිව් ලංකා සිනමන් (පුද්) සමාගම, සිල්වර්මිල්, සෙයිලා ඕර්ගනික්ස් (පුද්) සමාගම, සිනමන් වන් (පුද්) සමාගම සහ එන්රිච් ටී ඇන්ඩ් ෆුඩ් එක්ස්පෝට්ස් (පුද්) සමාගම මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකාව ලංකා කුරුඳු මෙට්‍රික් ටොන් 18,000ක් පමණ ලෝක වෙළඳපොළට අපනයනය කරන අතර ඉන් 45%ක් දකුණු ඇමෙරිකානු රටවල් ආනයනය කරන අතර, 14%ක් එක්සත් ජනපදය ආනයනය කරයි. කැසියා කුරුඳු  භාවිතයට හුරුවී ඇති බැවින් යුරෝපීය කලාපය ලංකාවේ කුරුඳුවලින් 10%ක් වැනි සුළු ප්‍රමාණයක් ආනයනය කරයි. ගුණාත්මක බවින් අඩු ආදේශක අතරින් යුරෝපා සංගමයේ වෙළඳපොළ තුළ ලංකා කුරුඳු වෙන්කර හඳුනා ගැනීම සඳහා EU PGI තත්ත්ව සහතිකය ඉතා වැදගත් වේ. එය තරඟකාරී ප්‍රතිලාභ අත්කර දෙන ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ඇති අතර, එමඟින් වෙළඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන පිරිවැටුම වැඩි කිරීම සහ පාරිභෝගිකයාගෙන් හොඳම මිලක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. තරඟකාරී බව වර්ධනය කිරීම සහ යුරෝපීය වෙළඳපොළ තුළ ලංකා කුරුඳුවලට අදාළ  වෙළඳපොළ කොටස ඉහළ නැංවීමේ අරමුණින්, EU PGI තත්ත්ව සහතිකය ලත් ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීම සඳහා මනාව සම්බන්ධීකරණ කරන ලද දැඩි ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසල්ස්

2022 ඔක්තෝබර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close