රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 ඔක්තෝබර් මස 11 වැනි දින නිරත වූ කෙටි සංක්‍රාන්ති සංචාරයක් අතරවාරයේ දී ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවිය.

ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා කොන්සල් ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අමතමින් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම සේවාවක් සැපයීමේ වැදගත්කම අවධාරණය කළේය. කොන්සල් ජනරාල්වරයා විසින් සිදුකරනු ලබන සේවාවන් පිළිබඳව අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළ අතර කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතු ව මාතෘ භූමියට සේවය කරන ලෙස කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීම පිණිස මංපෙත් ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝගවලට පිළියම් සෙවීම සඳහා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගැනීමේ වැදගත්කම ද එතුමා අවධාරණය කළේය.

වත්මන් ශ්‍රී ලංකා ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ විභව උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, නිර්මාණ කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව විස්තර කළේය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි

2022 ඔක්තෝබර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close