විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සිය සංක්‍රාන්ති චාරිකාවක් අතරතුර, එනම් 2022 ඔක්තෝම්බර් 11 වැනි දින ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ (SLBC) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය හමුවිය.

පැමිණ සිටි පිරිස ඇමතූ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, මෙරට ආර්ථිමක තත්ත්වය සහ එම තත්ත්වය ස්ථාවර භාවය කරා රැගෙන ඒමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විස්තර කළේ ය.

ඉලක්කගත කණ්ඩායම් අරමුණු කරගනිමින් සමාජ මාධ්‍ය ප්‍රචාරණ ඇතුළු විවිධ ආකාරයේ ප්‍රචාරණ ව්‍යාපාර හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ ය. මෙම යෝජනාව තහවුරු කළ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එවැනි කටයුතු උපායමාර්ගික අයුරින් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාව තුළ පහසුවෙන් සොයාගත හැකි ග්‍රැෆයිට්, ඉල්මනයිට්, පොස්පරස් සහ තෝරියම් වැනි ඛනිජ වර්ග පිළිබඳව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, සම්පත් භාවිතය තුළින් උපරිම ඵල ලබාගැනීම සඳහා අගය එකතු කළ කර්මාන්ත සම්බන්ධයෙන් ආයෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාවේ දී ඖෂධ, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි කර්මාන්තවල පවතින ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ, ඇඟලුම්, දිරාපත් වන ද්‍රව්‍ය, බතික් සහ අත්යන්ත්‍ර යනාදී ක්ෂේත්‍ර ආශ්‍රිත වෙළඳාම තවදුරටත් ඉහළ නැංවීමේ මාර්ග සහ ක්‍රම යනාදිය දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය.

වර්තමානය වන විට කලාපය තුළ වේගයෙන්ම වර්ධනය වෙමින් පවතින ආර්ථිකය  බවට පත්ව ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු විවිධාංගීකරණයට ලක් වූ ආර්ථිකය පිළිබඳව සඳහන් කළ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු අත්දැකීම්වලින් ඉගෙනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත දක්වන සුහදතාව, ස්ථාවර සහයෝගය සහ උපකාර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය වෙත සිය කෘතඥතාව පළ කළේ ය. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පුද්ගලයන් සියරට පැමිණවීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් ලබා දුන් අගනා සහයෝගය එතුමා මෙහිදී අගය කළේ ය.

ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධව 1991 වසරේ දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ඩුබායි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ සංවිධානයකි. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සහ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර දෙරට අතර වෙළෙඳ, ආයෝජන, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව මෙන්ම රැකියා සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගත් සංවිධානයක් ද වේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු අංශයේ වැඩ බලන අතිරේක ලේකම් සිතාරා ඛාන්, ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න සහ චාන්සරි ප්‍රධානී දිනිති වීරසේන යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම හමුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ඩුබායි

2022 ඔක්තෝබර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close