ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්තානයේ ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ සංගමය (ABAD) හරහා ඉදිකිරීම් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයනය  ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පාකිස්තානයේ ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ සංගමය (ABAD) හරහා ඉදිකිරීම් ආශ්‍රිත ද්‍රව්‍ය අපනයනය  ප්‍රවර්ධනය කරයි

කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ආශ්‍රිත ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ සංගමය (ABAD) සඳහා අභිනවයෙන් තේරී පත් වූ සභාපති වන අල්තාෆ් තායි මහතා සහ එහි සාමාජිකයන් පිරිසක් ABAD සංවිධානයේ කාර්යාලයේ දී හමුවිය. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා සහ හේලීස් ඇවෙන්චුරා ඉනෝවෙටිව් සොලියුෂන්ස් සමාගමේ මෙරට කළමනාකරු වන චමිත් පෙරේරා මහතා ද මෙම හමුව සඳහා සහභාගී විය.

ABAD සංවිධානය යනු පුද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු ඒකාබද්ධ කිරීම සහ විධිමත් කිරීම යන අරමුණ සහ පරමාර්ථය සහිතව 1972 වසරේ දී පිහිටුවන ලද ඉදිකිරීම්කරුවන්ගේ සහ සංවර්ධකයන්ගේ ජාතික මට්ටමේ නියෝජිත සංවිධානයකි. ABAD සංවිධානය සතුව එරට තුළ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් 1,200 කට අධික ප්‍රමාණයක් පවතී.

ශ්‍රී ලංකාව 2021 වසරේ දී, ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක පමණ වටිනාකමින් යුත් කාර්මික සහ ශල්‍ය රබර් අත්වැසුම් ඇතුළුව පරිවෘත රැහැන් සහ කේබල්, ස්විච, පුවරු සහ පැනල, MDF සහ ෆයිබර් පුවරු, මූලික ලෝහවලින් තැනූ අනෙකුත් නිෂ්පාදන සහ ඇලුමිනියම්, තඹ සහ යකඩවලින් තැනූ සම්මත වයර් ආදී ඉදිකිරීම් ද්‍රව්‍ය තොගයක් පාකිස්තානය වෙත අපනයනය කළේ ය.

සිය රුචිකත්වයන් පිළිබඳව අදහස් පළ කළ ABAD සංවිධානයේ සභාපති සහ සාමාජිකයන්, ශ්‍රී ලංකාවෙන් තවදුරටත් ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පවතින හැකියාව පිළිබඳව ABAD සංවිධානය ගවේෂණය කරන බව දැනුම් දුන්හ.

පාකිස්තාන  ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පකාලි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

කරච්චි

2022 ඔක්තෝබර් 13 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close