ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් ලොව විශාලතම විලාසිතා වෙළඳ සල්පිල වන ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) වැඩසටහන සඳහා සාර්ථකව සහභාගී වේ

ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් ලොව විශාලතම විලාසිතා වෙළඳ සල්පිල වන ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) වැඩසටහන සඳහා සාර්ථකව සහභාගී වේ

ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් නවයක් 2022 අගෝස්තු 7 සිට 10 යන දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 'මැජික් ලාස් වේගාස්' නමැති ඇඟලුම් මූලාශ්‍රකරණ වෙළඳ සල්පිල සඳහා සහභාගී විය. එක්සත් ජනපදයට සහ උතුරු සහ දකුණු ඇමරිකානු වෙළඳපොළවෙත ප්‍රවේශ වීම සඳහා මෙම අවස්ථාව මඟින් නිර්මාණය වූ බොහෝ ව්‍යාපාරික අවස්ථා, මෙම සමාගම් විසින් සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගන්නා ලදි. එක්සත් ජනපදයේ පිහිටි සමාගම් මෙන්ම එක්සත් ජනපදයෙන් පිටත පිහිටි සමාගම් සමඟ ව්‍යාපාරික සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් ස්ථාපිත කොට තහවුරු කරන අතරතුර, මෙම පරිශ්‍රය තුළ සිටම ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත් සෘජු ඇණවුම් ලබා ගැනීමට මෙමඟින් ඔවුන්ට අවස්ථාව සැලසිණි. ශ්‍රී ලංකාව ප්‍රධාන ඇඟලුම් අපනයන ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ද මෙමඟින් පුළුල් අවස්ථාවක් සැලසිණි.

ලකී ඉන්ඩස්ට්‍රීස්, ජේ.කේ. ගාමන්ට්ස්, ස්ක්‍රීන්ලයින්, කෑෂ් ගාමන්ට්ස්, කෝල්මන්ස් ගාමන්ට්ස් ඉන්ඩස්ට්‍රීස්, සරසවි එක්ස්පෝර්ට්ස්, ක්වීන්ස් වර්ක් වෙයාර්, ජියා මෝඩා සහ හාවර්ඩ් ෆැෂන් යන ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයන සමාගම් මෙම සල්පිල සඳහා සහභාගී විය. ශ්‍රී ලංකාවේ වෙළඳ කුටිය වර්ග මීටර් 90 ක ඉඩ ප්‍රමාණයකින් සමන්විත වූ අතර එය කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම්, ළදරු ඇඳුම්, වැඩ ඇඳුම් මෙන්ම මේස්, ලේබල් මුද්‍රණය ආදිය ප්‍රවර්ධනය කෙරෙන එක් එක් ප්‍රදර්ශන කුටි දහයකින් සමන්විත විය.

‘මැජික් ලාස් වේගාස්’ සල්පිල එක්සත් ජනපදයේ විශාලතම හා වඩාත් පුළුල් විලාසිතා වෙළඳපොළ ලෙස සැලකේ. එමඟින් වාර්ෂිකව (පෙබරවාරි සහ අගෝස්තු) ලාස් වේගාස්, නෙවාඩා හිදී කාන්තා සහ පිරිමි ඇඳුම්, පාවහන්, උපාංග සහ ලොව පුරා ඇති මූලාශ්‍රකරණ සම්පත් විදහා දැක්වේ. සිල්ලර වෙළඳ කටයුතු පිළිබඳ සහය, ගැළපුම් වැඩසටහන් සහ සබඳතා ගොඩනඟාගැනීම වැනි කැපී පෙනෙන සේවාවන් සමඟ ගැනුම්කරුවන් සහ වෙළඳ සන්නාම අතර සම්බන්ධතා පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම හරහා මෙතුළින් විලාසිතා ව්‍යාපාර ක්ෂේත්‍රයට පිටුවහලක් සැපයේ. මීට අමතරව, සිල්ලර වෙළෙන්දන්ට සහ ගැනුම්කරුවන්ට නව ප්‍රදර්ශන සන්නාම සහ ප්‍රතිලාභ සහිත සන්නාම සමඟ ඉගෙනීමට, ජාලගත වීමට සහ ව්‍යාපාර කිරීමට අවස්ථාව සැලසේ. කොවිඩ්- 19 වසංගතයෙන් ප්‍රකෘති තත්ත්වයට එළඹීමෙන් අනතුරුව මෙම උත්සවය සාර්ථකව පැවති අතර, ඊට ලොව පුරා රටවල් 65 කට වැඩි ප්‍රමාණයක ගැනුම්කරුවන්ගේසහ ප්‍රදර්ශකයන්ගේ නියෝජනය මෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය තුළ සහ ඉන් පිටත සිටින ගැනුම්කරුවන් 13,500 කට වැඩි පිරිසකගේ සහභාගීත්වය ලැබිණි.

වොෂින්ටන් ඩි. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) යටතේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සපයන ව්‍යාපෘතියක් සමඟ සමීපව කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයට සිය වෙළඳාම හා සබැඳි නෛතික යටිතල පහසුකම් නංවාලීමට, එක්සත් ජනපද වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ සංචාරක අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමට සහය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ගෝලීය අපනයනවලින් 25% කට වඩා අවශෝෂණය කරන අංක එකේ අපනයන ගමනාන්තය එක්සත් ජනපදය වන අතර, ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන අපනයන ගමනාන්ත ද ඊට ඇතුළත් වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය (වාණිජ්‍ය) ඩී.සී චරිත යට්ටෝගොඩ මහතාගේ සහය ලබා ගත් ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ අමාත්‍ය (වාණිජ) උපදේශක අනිල් සිරිමාන්න මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව (DoC) සහ ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සංසදය (JAAF) යන ආයතනවල සහයෝගීතාවයෙන් එක්සත් ජනපද වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වාණිජ අවශ්‍යතා ප්‍රවර්ධනය කරමින් මෙම ව්‍යාපෘතිය හරහා 'මැජික් ලාස් වේගාස් තුළ මූලාශ්‍රකරණය' සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ය.

වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) හරහා ලබා දෙන එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවේ සහය සහිතව වසර නවයකට පසුව පවත්වන ලද මෙම සුවිශේෂී වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට හැකි විය. ප්‍රදර්ශක කුටි, කුටි ඉදිකිරීම මෙන්ම තනි ප්‍රදර්කයන්ගේ භාණ්ඩ, ප්‍රදර්ශන රාක්ක යනාදී අනෙකුත් අවශ්‍යතා සඳහා වාණිජ නීති සංවර්ධන වැඩසටහන (CLDP) සිය අනුග්‍රහය දැක්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී. සී.

2022 අගෝස්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close