තුර්කිය ශ්‍රී ලංකා රජය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

තුර්කිය ශ්‍රී ලංකා රජය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

 

ශ්‍රී ලංකාවේ රෝහල්වලට කඩිනමින් අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් තොගයක් තුර්කි රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදී. ෆිල්ගාස්ට්‍රින් එන්නත් ඇතුළත් පළමු ඖෂධ තොගය ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද අතර, එය 2022 අගෝස්තු 14 වැනි දින මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් භාර ගන්නා ලදී.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා 2022 අගෝස්තු 17 වැනි දින තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුෂෝලු මැතිතුමා සහ තුර්කි- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති අහ්මට් හම්ඩි කැම්ලි මහතා හමුවූ අවස්ථාවේ දී, තුර්කි රජය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙත පළ කළ ත්‍යාගශීලී පරිත්‍යාගය සහ සහයෝගීතාව වෙනුවෙන් තුර්කි ජනරජයේ ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගන් මැතිතුමා වෙත සිය ස්තුතිය පුද කළේ ය.

අනෙකුත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සහිත බහාලුම් ද්විත්ත්වය 2022 අගෝස්තු 17 වැනි දින තුර්කියේ ඉස්මිත් සාගර වරායෙන් පිටත් වූ අතර, එය 2022 සැප්තැම්බර් මස මැද භාගයේ දී කොළඹ වරායට ළඟා වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා 2022 මැයි මාසයේ දී තුර්කි - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති අහ්මට් හම්ඩි කැම්ලි මහතා සහ තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී තානාපති හසන් මැතිතුමා යොමු කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහය වීම පිළිබඳව සලකා බලන ලදී. ඉන් අනතුරුව, තුර්කි සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කළ තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශය, තුර්කි ජනරජයේ ජනාධිපති රිසෙප් ටායිප් එර්ඩොගන් මැතිතුමාගේ ද අනුමැතිය සහිතව මෙම වෛද්‍ය සැපයුම් තොගය මෙරටට එවීමේ කටයුතු කඩිනම් කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 අගෝස්තු 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close