ඔස්ට්‍රියානු රජය අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

ඔස්ට්‍රියානු රජය අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රුපියල් මිලියන හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඔස්ට්‍රියානු රජය විසින් 2022 අගෝස්තු 16 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි.

නවදිල්ලියේ පිහිටි ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී මතියාස් රැඩොස්ටික්ස් මහතා" අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම ඖෂධ තොගය නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා වෙත භාරදීමට කටයුතු කළේ ය. නවදිල්ලියේ පිහිටි ඔස්ට්‍රියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට සමගාමීව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විදේශ රටවලට යොමු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පරිත්‍යාගය ලබා දෙන ලදි. මෙම ඖෂධ තොගය භාර ගත් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඔස්ට්‍රියානු රජය මෙලෙස පළ කළ මිත්‍රත්වය සහ සුහදතාව වෙනුවෙන් ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා වෙත සිය කෘතඥතාව පළ කළේ ය. මහ කොමසාරිස් කාර්යාලය මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකාවට එවීම සඳහා කඩිනමින් කටයුතු කරනු ඇත.

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමගාමීව අක්ත ගන්වන ලද විදේශ දූත මණ්ඩල 94 සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 අගෝස්තු 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close