ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අපනයන තත්ත්වයේ ගුණාත්මක හා සම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදිපිළි පිළිබඳව ජෝර්දාන රෙදිපිළි ආනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රධාන රෙදිපිළි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් ජූනි 29 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී පැවැත්වීය. මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ තානාපතිනි ශානිකා දිසානායක මැතිනිය, පාරම්පරිකව පැවත එන මෝස්තර භාවිතයට ගනිමින් රෙදි වියන දක්ෂ ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන ලද රෙදිපිළි ආශ්‍රිත ඉතිහාසය පිළිබඳව දළ අදහසක් ඉදිරිපත් කළාය. ශ්‍රී ලාංකික ශිල්පීන් සවිබල ගන්වා ඔවුන්ට නිවසේ සිටම ආදායමක් උපයාගැනීමට අවස්ථාව ලබා දී ඇති මෙම නිර්මාණශීලී කර්මාන්තය සතු ශ්‍රම තීව්‍රතාව පිළිබඳව ද අවධාරණය කරන ලදි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද රෙදි සාම්පල හතළිහක් සහභාගි වූවන්ට ප්‍රදර්ශනය කෙරුණු අතර එමඟින් විවිධ රෙදි වියමන්, සංකීර්ණ ලෙස වියන ලද සංකේත රටා, රූප සහ වර්ණවල විවිධත්වය දැකගත හැකි විය. ජෝර්දාන ආනයනකරුවන් එහි ගුණාත්මකභාවය ගැන පැහැදුණු අතර ඇතැම් රෙදිපිළි ආනයනය කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූහ.

ඉන්ඩිපෙන්ඩන්ට් කලෙක්ෂන් හි (I/C) රෙදිපිළි සහ අයිලන්ඩ් ක්‍රාෆ්ට්, අර්බන් අයිලන්ඩ් සහ කැලණි ෆැබ්‍රික්ස් යන ආයතනවල නිෂ්පාදන පිළිබඳ වීඩියෝ පටද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී. ජෝර්දාන වෙළඳපොළ මේ වන විට තුර්කිය, චීනය සහ ඉන්දියාව යන රටවලින් රෙදිපිළි ආනයනය කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජෝර්දානය

2022 ජූලි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close