හවුල් උපදේශන සහ අභිලාෂයන් තුළින් සහයෝගීතාව වර්ධනය කිරීම: කොළඹ රොටරි සමාජය සහ මැකාති රොටරි සමාජය - මිතුරු කවය (Rotary Club of Makati-Circle of Friends) අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ සහෝදර සමාජ අතර ගිවිසුම සහ සහයෝගීතාව

හවුල් උපදේශන සහ අභිලාෂයන් තුළින් සහයෝගීතාව වර්ධනය කිරීම: කොළඹ රොටරි සමාජය සහ මැකාති රොටරි සමාජය – මිතුරු කවය (Rotary Club of Makati-Circle of Friends) අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ සහෝදර සමාජ අතර ගිවිසුම සහ සහයෝගීතාව

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 29 වන දින කොළඹ රොටරි සමාජය (RCCR) සහ මැකාති රොටරි සමාජ - මිතුරු කවය (RCM-CoF) අතර සහෝදර සමාජ ගිවිසුමකට අථත්‍ය අයුරින් අත්සන් තැබීම සඳහා පහසුකම් සලසා තිබේ. ශ්‍රී ලාංකීය ප්‍රතිලාභීන් 500ක් සඳහා ඔන්ලයින් සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ඇතුළත් කරමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිළිබඳ වැඩසටහන් රාමුව විධිමත් අයුරින් ස්ථාපිත කරන ලද මෙම උත්සවයේ දී රොටරි සමාජ දෙක සහ පිලිපීනයේ ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ග්ලෝබල් කොලේජස් ඉන්කෝපරේෂන්ස් (CIE) ආයතනය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදි.

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශෝබිනි ගුණසේකර මහත්මිය සිය සමාරම්භක අදහස් දැක්වීමේ දී අන්‍යෝන්‍ය උපදේශන මත පදනම් වූ සහයෝගීතා වැඩසටහන් හරහා සිය සබඳතා පුළුල් කිරීමේ අන්‍යෝන්‍ය පරමාර්ථය තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම වෙනුවෙන් රොටරි සමාජ ද්විත්වය වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවාය. හවුල්කාරිත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රවණතා සහ ඉල්ලීම්වලට අනුකූලව රටේ තරුණ තරුණියන් සහ වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනයට දායක වීමේ දී අත්වන ප්‍රතිලාභ පිළිබඳ එතුමිය අවධාරණය කළාය.

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ කාරුණික සත්ක්‍රියාව සම්බන්ධයෙන් එතුමිය මැකාති රොටරි සමාජ - මිතුරු කවයේ බලයලත් සභාපතිනිය මෙන්ම CIE ආයතනයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරිනී මහාචාර්ය නීලියා කෲස් ස’කෝල් මහත්මිය වෙත සිය කෘතඥතාව පළ කළාය. කොළඹ රොටරි සමාජයේ නිලධාරීන්; එහි සභාපති රඛිත ජයතුංග, හිටපු සභාපති සහ මහජන ප්‍රතිරූපක සභාපති රොහාන්ත අතුකෝරාළ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා 3220 රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික් ප්‍රධානී පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීන් වෙත උක්ත මුලපිරීම සඳහා දායකත්වය ලබාදීම වෙනුවෙන් එතුමිය සිය ස්තුතිය පුද කළාය.

නුදුරු අනාගතයේදී හුවමාරු ක්‍රමය යටතේ සංචාරයන්හි නිරත වීම් සහ අනෙකුත් කටයුතු හරහා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව රොටරි සමාජ ද්විත්වය ම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 ජූලි 08  වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close