විදේශ අමාත්‍යවරයා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍යවරයා යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් චයිබි මැතිතුමා හමුවිය.

අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම සාකච්ඡාවේදී යුරෝපා සංගමයේ තානාපතිවරයා හමුවේ ඉදිරිපත් කළ කරුණු අතරට  මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවණතා, 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුව සමාලෝචනය කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම, ස්වාධීන ආයතනවල ප්‍රගතිය සහ යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන ලක්ෂණ යනාදිය ඇතුළත් විය.මෙරට ස්ථාපිත දේශීය යාන්ත්‍රණ තුළින් සත්‍යාපනය කළ හැකි වූත් ප්‍රමාණවත් වූත් සුවිසල් ප්‍රගතියක් ලබාගැනීමට රජය සමත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය සිය අවධානය යොමු කොට ඇති බව අවධාරණය කළේය.තවද, සමාජයේ අවදානමට ලක්විය හැකි ජන කොටස් ඉලක්ක කෙරෙන සුබසාධන ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් නව අයවැයක්, නුදුරේදී ඉදිරිපත් කිරීමට රජය අදහස් කරන බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙරට මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව ඉදිරිපත් කරන ලද මෙම තොරතුරු, යුරෝපා සංගමයේ තානාපතිවරයාගේ ඇගයුමට ලක්විය. 2024-2033වර්ෂය සඳහා වන යුරෝපා සංගමයේමීළඟ ජීඑස්පී (GSP)රෙගුලාසිය මේ වන විට යුරෝපා සංගම් කොමිසම සහ යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් පවතින බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.

මෑතකදී අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ 50 වැනි සැසිවාරය පිළිබඳව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාව සිය ඵලදායී නිරතවීම් අඛණ්ඩව සිදු කරන බව ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close