සමස්ත නේපාල භික්ෂු සංගමයට අයත් "Hands for Sri Lanka" කමිටුව  ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

සමස්ත නේපාල භික්ෂු සංගමයට අයත් “Hands for Sri Lanka” කමිටුව  ශ්‍රී ලංකාව සඳහා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

සමස්ත නේපාල භික්ෂු සංගමය (ANBA) සහ එමඟින් ක්‍රියාත්මක වන ඖෂධ පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා ANBA යටතේ පිහිටුවන ලද "Hands for Sri Lanka" කමිටුව විසින් නේපාල රුපියල් ලක්ෂ 25 කට අධික වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් 2022 ජූලි 04 වැනි දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර දෙන ලදි.

නේපාලයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝධිසේන මහනාහිමියන් සහ ANBA හි සභාපති වන පූජ්‍ය ධම්ම සෝභන ස්වාමීන් වහන්සේ ඇතුළු එම සංගමය නියෝජනය කරන ස්වාමින් වහන්සේලා, ANBA හි කමිටු සාමාජිකයන්, ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක පූජ්‍ය පඤ්ඤාසාර ස්වාමීන් වහස්සේ සහ  "Hands for Sri Lanka" කමිටුවේ ගිහි නියෝජිතයෝ මෙම ඖෂධ තොගය භාර දීමේ උත්සවය සඳහා සහභාගී වූහ.

මෙම කර්තව්‍ය සඳහා පළමු කොට දායකත්වය ලබා දුන් ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේ, දෙරට අතර පවතින ශක්තිමත් ආගමික බැඳීම පිළිබඳව අවධාරණය කළ අතර, මෙම අසීරු මොහොතේ දී ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීම සඳහා ANBA සංගමය "Hands for Sri Lanka" ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල් වූ බව සඳහන් කළහ.නේපාලයේ ථෙරවාද බුදු දහම වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය සහ වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා ඇති භික්ෂූන් සංඛ්‍යාව පිළිබඳව ද උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ. ANBA හි සභාපති පූජ්‍ය ධම්ම සෝභන ස්වාමීන් වහන්සේ ද රැස්ව සිටි පිරිස ඇමතූ අතර, 2015 වර්ෂයේ සිදු වූ භූමිකම්පාවෙන් පසුව ශ්‍රී ලංකාවෙන් ලැබුණු ආධාර ඇතුළුව ශ්‍රී ලංකාව සහ නේපාලය අන්‍යෝන්‍ය වශයෙන් මානුෂීය ආධාර ලබා දුන් අවස්ථා පිළිබඳව ද ඉස්මතු කළහ.

මෙහිදී අදහස් දැක්වූ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලී අරුණතිලක මැතිනිය, මෙම ව්‍යාපෘතිය සඳහා නොමසුරුව දායක වූ නේපාල ජනතාව වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා ය. ශ්‍රී ලාංකික ජනතාව සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමේ කර්තව්‍ය සංවිධානය කිරීම සඳහා දැක්වූ කැපවීම සහ උත්සාහය වෙනුවෙන් ANBA සහ "Hands for Sri Lanka" හි සියලුම සාමාජිකයන්ට තානාපතිනිය සිය ස්තූතිය පුදකළා ය.

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ජනතාවට සෙත් පතා මහා සංඝරත්නය සිදු කළ සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව මෙම වැඩසටහන අවසන් කෙරිණි.

ANBA යටතේ පිහිටුවා ඇති “Hands for Sri Lanka" කමිටුවට ANBA  සාමාජිකයන් සහ නේපාලයේ තරුණ බෞද්ධ සංගමය, දර්මෝධය සභාව, භක්තපූර් හි යුභා බුද්ධ සමූහ, නේපාලයේ කාන්තා බෞද්ධ සංගමය සහ කත්මණ්ඩු හි යුභා බුද්ධ සමුහ යන සංගම්වල ගිහි නියෝජිතයන් අයත් වේ.

මෙය නේපාලයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද දෙවැනි  ඖෂධ තොගය  වන අතර පළමුවැනි  තොගය ජූනි මස මුල ඒෂියන් ෆාමසියුටිකල්ස් පුද්. සමාගම විසින් මෙරටට පරිත්‍යාග කරන ලදි. මෙම ඖෂධ තොගය කොළඹට එවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය තානාපති කාර්යාලයට සහය විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කත්මණ්ඩු

2022 ජූලි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close