විදේශ කටයුතු  අමාත්‍යවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදේශ රැකියා ප්‍රවර්ධනය පිළිබඳ රැස්වීමක් පවත්වයි

විදේශ කටයුතු  අමාත්‍යවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදේශ රැකියා ප්‍රවර්ධනය පිළිබඳ රැස්වීමක් පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා 2022 ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වූ රැස්වීමක් අතරතුර, රටේ වත්මන් වාතාවරණය හමුවේ ඉතා වැදගත් වන විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම,විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් පවතින  බාධකවලට විසඳුම් සෙවීම සඳහා හඳුන්වා දිය හැකි යාන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රමිකයන් ගෙන්වන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සහ කම්කරු හා විදේශ සේවා නියුක්ති අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යවරුන් දෙදෙනා විසින් පවත්වන ලද අතථ්‍ය හමුවකින් අනතුරුව මෙම රැස්වීම පවත්වන ලදි.

ආරම්භක දේශනය පැවැත්වූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක්  විදේශයන් හි  ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට පැවරී ඇති බව සඳහන් කළ අතර, ප්‍රධාන ප්‍රමුඛතාවක් වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික රාමුව තුළ ඇති ශක්‍යතා කල්තියා ගවේෂණය කිරීම සඳහා සියලු දූත මණ්ඩල දිරිමත් කළේය.

රැකියා සම්බන්ධ කටයුතුවලදී පාර්ශ්වකරුවන්ගේ අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය කඩිනම් කිරීමේ වැදගත්කම අවධාරණය කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා, නිල මාර්ග හරහා තම මුදල් මෙරටට එවීම සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිරිගැන්වීම සම්බන්ධයෙන්  දූත මණ්ඩල/දූත කාර්යාල ප්‍රධානීන්ගේ සහය ඉල්ලා සිටියේය. තවද, රටේ ආර්ථිකය සඳහාවිදෙස්ගත ශ්‍රමිකයන් සපයන දායකත්වය අගයමින් විශේෂ දිරිගැන්වීමේ ක්‍රමයක් නුදුරේ දී හඳුන්වා දෙන බවද අමාත්‍ය නානායක්කාර මැතිතුමා අවධාරණය කළේය.

මෙහිදී සිදු කළ පුළුල් හා ඵලදායී අදහස් හුවමාරුව අතරතුර, දූත මණ්ඩල විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දූත මණ්ඩල ප්‍රධානීන් විසින් විස්තර කරන ලදි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close