ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජූනි 20 වැනි දින

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජූනි 20 වැනි දින

 ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ක්ලෙයාර් ඕ’නීල් (පා.ම.) මැතිනිය 2022 ජුනි 19-21 දිනවල දී ශ්‍රී ලංකාවේ කොළඹ නිරත වන සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එතුමිය සමඟ හමුවක් පැවැත්වීය.

ඕ’නීල් අමාත්‍යවරිය ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස නිරත වන පළමු විදෙස් සංචාරය මෙය වන අතර, විශේෂයෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ 75 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතාව සඳහා ඕස්ට්‍රේලියාව ලබා දෙන වැදගත්කම එමඟින් පිළිබිඹු කරයි.

වර්ධනය වෙමින් පවතින වෙළඳ, ආයෝජන සහ අධ්‍යාපන අවස්ථා, ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව සටන් කිරීම මෙන්ම, ශක්තිමත් අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟා ගැනීම ඇතුළු හවුල් අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගීතාවය සහ අධිෂ්ඨානය මත ගොඩනැගුණු ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාව අමාත්‍යවරුන් දෙපල විසින් සඳහන් කරන ලදී.

ඕස්ට්‍රේලියාව සහ ශ‍්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය, විශේෂයෙන් ම අක්‍රමවත් සංක්‍රමණ ක්ෂේත්‍රයේ රන් ප්‍රමිතියේ සහයෝගීතාව ගැඹුරු කිරීමේ අවස්ථා පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්තිවල හෝ ස්වෛරී දේශසීමා මෙහෙයුමේ කිසිදු වෙනසක් සිදු නොවූ බව අමාත්‍ය ඕ’නීල් මැතිනිය සඳහන් කළාය. මිනිස් ජාවාරම්කරුවන් මැඬලීමට, අහිංසක මිනිසුන්ගේ ජීවිත හානි සහ ජීවනෝපාය මාර්ගවලට ඇති වන අවදානම වැළැක්වීම සඳහා අඛණ්ඩව එක්ව ක්‍රියා කිරීමට අමාත්‍යවරුන් දෙපළ සිය අධිෂ්ඨානය යළිත් ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළුව, දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන සියලුම ආකාරයේ අපරාධ මැඬලීම මෙන්ම, දේශසීමා කළමනාකරණය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩ සමීප සහයෝගීතාවක් අමාත්‍යවරුන් දෙපල විසින් සඳහන් කරන ලදී. ඒවාට එරෙහි පියවර වැඩිදියුණු කිරීම සඳහා ඔවුහු කැපවූහ. ඕස්ට්‍රේලියානු අමාත්‍යවරිය ඇතුළු නිලධාරීහු පුද්ගල ජාවාරම් මැඬලීම පිළිබඳ වටමේස සාකච්ඡාවකට සහභාගි වූහ. ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නිලධාරීහු වත්මන් තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන් අතර, සහයෝගීතාව සහ එක්ව කටයුතු කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කළහ.

ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම යටතේ පුද්ගල ජාවාරමට එරෙහි සහ වෙනත් දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සහයෝගීතාවය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා තෘප්තිමත් බව පෙන්වා දුන් අතර, අවස්ථාව ලැබෙන පරිදි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි වටය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා එකඟ වූහ.

ස්වෛරී දේශසීමා මෙහෙයුම ලෙස හැඳින්වෙන දේශසීමා ආරක්ෂක මෙහෙයුම් යටතේ, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, බාධා කිරීම, කඩාකප්පල් කිරීම, අතරමඟ දී අල්ලා ගැනීම සහ ආපසු හරවා එවීම සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාවය ද අමාත්‍යවරුන් දෙපල විසින් සඳහන් කරන ලදී.

වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේ ප්‍රබල සහය ලබා දෙන බව සංචාරයෙහි නිරතවන අමාත්‍යවරිය යළි අවධාරණය කළ අතර, මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා එකඟ විය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close