විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ ගැටලු පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා දැනුම්වත් කරයි

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ ගැටලු පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා දැනුම්වත් කරයි

මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීව 2022 ජූනි 14 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ සභාපති, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ (ජිනීවා පාර්ශ්වය) සම්බන්ධීකාරක හා ජිනීවා හි බ්‍රසීල නිත්‍ය නියෝජිතයා හමුවූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා,එම පිරිස සමඟ සාකච්ඡා පැවැත්වීය.

මානව හිමිකම් කවුන්සිලයේ සභාපති සහ ආර්ජන්ටිනාවේ නිත්‍ය නියෝජිත ෆෙඩරිකෝ විලේගාස් මැතිතුමා  සමඟ පැවති සාකච්ඡාවේදී සිය අදහස් පළ කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව දැනුම්වත් කළ අතර,  ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් පළ කළ යුතු සංවේදිත්වය සහ ඔවුන් සතුව පැවතිය යුතු අවබෝධය පිළිබඳව සඳහන් කළේය.මෙරටට බහුල වශයෙන් ලැබෙන ප්‍රතිචාර සහ ආධාර පිළිබඳව ද එතුමා සිය කෘතඥතාව පළ කළේය. වත්මන් සමාජ-ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සුදුසු අවකාශයක් මෙරටට අවශ්‍ය බව අවධාරණය කළ එතුමා, වගකීම් සමඟ කටයුතු කරමින් ඉදිරියට යාමේදී දේශපාලනික කටයුතු පිළිබඳව අවධානය යොමු කරන බව යළිදු අවධාරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වැනි සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ කටයුතු, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම  ඇතුළුවශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රමාණවත් සහ සැබෑ ප්‍රගතිය පිළිබඳව ද එතුමා මෙහිදී  අවධාරණය කළේය.එක්සත් ජාතීන්ගේ 2021 තිරසාර සංවර්ධන වාර්තාවට අනුව, 68.1 ක් වූ සමස්ත ශ්‍රේණිගත අගයක් ලබා 87 වැනි ස්ථානය හිමි කරගනිමින් තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද එතුමා සඳහන් කළේ ය. එය කලාපීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් වන අතර, රටවල් 165 අතරින් ස්ථාන 7 කින් ඉහළ යාමක් ලෙස හැඳින්විය හැකිය.

සෑම රටක්ම තම ඉතිහාසය තුළ දුෂ්කර කාල පරිච්ඡේද පසු කරන බවත්, එකී රටවල් සඳහා විශේෂිත වූ ප්‍රවේශ අනුගමනය කළ යුතු බවත් සඳහන් කළ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහය වීම සඳහා සිය කැමැත්ත පළ කළේය. මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔහුගේ කාර්යභාරය බවට පත්ව ඇත්තේ රටවල් එකිනෙක අතර සබඳතා ගොඩනැගීම සහ සෑම රටක්ම සහ සෑම නියෝජනයක් සමඟම සංවාද පැවැත්වීම ප්‍රවර්ධනය කිරීම බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිත්වයේ සහය සහ විශේෂඥ දැනුම ලබා ගත හැකි බවත්, දකුණු අප්‍රිකාවට ද ප්‍රතිලාභ ගෙන ඒමට ඉවහල් වූ ආර්ජන්ටිනාවේ අත්දැකීම් ද ලබා ගත හැකි බවත් එතුමා සඳහන් කළේ ය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක (ජිනීවා පාර්ශ්වය) අසර්බයිජානයේ නිත්‍ය නියෝජිත ගලීබ් ඊශ්‍රෆිලෝව් මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී විදේශ අමාත්‍යවරයා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව පවත්නා දීර්ඝකාලීන සහ ශක්තිමත් සබඳතා පිළිබඳව මෙන්ම, වර්තමානයේ දී නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සතු වටිනාකම්වල අදාළත්වය පිළිබඳව අවධාරණය කළේය.වත්මන් සමකාලීන අභියෝගවලට මුහුණ දීමේ දී නොබැඳි ජාතීන්ගේ සහයෝගීතාව සහ එක්සත් බව, මින් පෙර නොවූ විරූ ලෙස අතිශය වැදගත් සාධකයක් බවට පත්ව ඇති බව එතුමා අවධාරණය කළේය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තවදුරටත් පණ ගන්වන ලෙස ඉල්ලූ එතුමා, නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ මුලපිරීම් සහ ප්‍රයත්න ආශ්‍රිතව ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහ ක්‍රියාකාරී සහයෝගය ලබා දෙන බවට සහතික විය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක (ජිනීවා පාර්ශ්වය) තානාපති ඊශ්‍රෆිලෝව් මැතිතුමා වසංගතය අතරතුර එන්නත් ලබා දීම, රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ලබා දීම සඳහා සාධාරණ ප්‍රවේශයක් සකස් කිරීම, පශ්චාද් වසංගතය තත්ත්වය හමුවේ යථා තත්ත්වයට පත්වීම, ආරක්ෂක අංශය, අන්තර් පාර්ලිමේන්තු සංගමය හරහා පාර්ලිමේන්තු සංවාදය සහ සංවර්ධනයට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ සංවාදය පෝෂණය කිරීම යනාදිය ඇතුළත් සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා පසුගිය වසර කිහිපය තුළ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳව විස්තර කළේය. අනාගත මුලපිරීම් පිළිබඳව ගෙනහැර දැක්වූ එතුමා,  සාමාජික රටවල සක්‍රීය සහය ඇතිව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ පැතිකඩ ඉහළ නැංවීම සම්බන්ධයෙන් අසර්බයිජානය සතු කැපවීම සහ අඛණ්ඩ උත්සාහය පිළිබඳව යළිදු ප්‍රකාශ කළේය.

බ්‍රසීලයේ නිත්‍ය නියෝජිත ටොවෝර් ඩා සිල්වා නුනේස් මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේදී විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ලතින් ඇමරිකාවේ රටවල් සමඟ වඩාත් ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කළේය. තානාපති ඩා සිල්වා නුනේස් මැතිතුමා මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකාරී උනන්දුවක් දැක්වූ අතර, මේ පිළිබඳව දකුණු ඇමරිකාවේ රටවල් සතු හරවත් සහ විවිධ අත්දැකීම් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමඟ බෙදා ගත්තේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close