මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා

ශ්‍රී ලංකාව අනුග්‍රහය දැක්වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි

මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය අනුග්‍රහය ලබා දුන් A/76/L.56 නමැති යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2022 මැයි 23 වැනි දින සම්මත කරන ලදි. මෙම යෝජනාව පොදු එකඟතාවකින් සම්මත වූ අතර, රටවල් 24 ක් ඒ සඳහා සම අනුග්‍රහය දැක්වී ය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමා, න්‍යාය පත්‍රයේ 15 වැනි අංගය වන ‘ආර්ථික, සමාජීය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ සහ සමුළු ඒකාබද්ධ කිරීම හා සම්බන්ධීකරණ කිරීම සහ එහි ප්‍රතිඵල පසු විපරම් කිරීම’ යටතේ මෙම යෝජනාව හඳුන්වා දුන්නේ ය.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේ දී විශ්වීය වැදගත්කමක් සහිත මෙන්ම, කුඩා වුවද වැදගත් වූ අංගයක් කෙරෙහි අවධානය යොමු කිරීම සහ දැනුම්වත් කිරීම සඳහා මුහුදුබඩ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දක්වන උනන්දුව තානාපති පීරිස් මැතිතුමා සිය හැඳින්වීමේ දී අවධාරණය කළේ ය. වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීම, මුහුදු පතුල ස්ථාවර කිරීම, වඩාත් අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, සාගර ජීවීන් ගණනාවකගේ ආහාර ස්ථායීතාවය වැඩි කිරීම සහ කාබන් අවශෝෂණය කරගන්නා මූලාශ්‍රයක් වශයෙන් මුහුදු තෘණ සතු වැදගත්කම පිළිබඳව මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් සීමා කිරීම සඳහා මුහුදු තෘණ මගින් ඉටුවන ප්‍රධාන භූමිකාව එතුමා විසින් අවධාරණය කරන ලදි. ලෝක මුහුදු තෘණ සංගමය මෙම ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකා රජය වෙත සිය සමීප සහයෝගය ලබා දුන්නේ ය.

රටවල් 159ක සහ මහාද්වීප හයක වර්ග කිලෝමීටර් 300,000ක් පමණ ආවරණය වන පරිදි ව්‍යාප්ත වී ඇති මුහුදු තෘණ පෘථිවිය සතු අතර්ඝ සමුද්‍ර පරිසර පද්ධතියකි. මෙම වැදගත් පරිසර පද්ධතිය පාරිසරික, ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ලෝකයේ සාගර කාබන් ප්‍රමාණයෙන් සියයට 18ක් දක්වා ගබඩා කර තබා ගන්නා මුහුදු තෘණ සතු කාබන් ග්‍රහණය කිරීමේ සුවිසල් හැකියාව, මෙහි වඩාත් සුවිශේෂී ප්‍රයෝජනය ලෙස දැක්විය හැකි ය. දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුවර්තනය වීමට සහ එම බලපෑම් අවම කිරීමට උත්සාහ කිරීමේ දී මුහුදු තෘණ ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කරන වැසි වනාන්තරවලට වඩා මෙය ඉතා විශාල වේ. වාණිජ හා විනෝදාත්මක මත්ස්‍ය විශේෂ මෙන්ම කැස්බෑවන්, මුහුදු ඌරන් සහ මැනටියන් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ ඇතුළු සමුද්‍ර ජීවීන් ගණනාවකට ආහාර සහ නවාතැන් සැපයීම හරහා පරිසර පද්ධති ආශ්‍රිත සහය ලබා දීම සහ මුහුදු පතුල ස්ථාවර කිරීම යන වැදගත් කාර්යයන් මුහුදු තෘණවල භූමිකාවට ඇතුළත් වේ. එනමුදු, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු තෘණ පරිසර පද්ධති විනාශ වෙමින් පවතී. “ලොව පුරා වසරකට මුහුදු තෘණ සමුද්‍ර වාසස්ථානවලින් සියයට 7ක් විනාශ වෙමින් පවතින බවත්, එය සෑම විනාඩි 30කට වරක් අහිමි වන මුහුදු තෘණ සහිත පාපන්දු පිටියකට සමාන වන බවත්” ‘Out of the Blue: the value of seagrasses to the environment and to people’ නමැති එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන් ප්‍රකාශනයේ සඳහන්ව ඇත.

මෙම මුලපිරීම, රාජ්‍ය නොවන සංවිධානයක් සහ විද්වතුන් හරහා මුහුදු තෘණ පරිසර පද්ධති අධ්‍යයනය කිරීම සහ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් තුළින් සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම, විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගත් ප්‍රවේශයන්ගේ වැදගත්කම ප්‍රතිපත්ති මට්ටමෙන් ඉස්මතු කිරීමට ඉඩහසර ලබා දීම යනාදිය මූලික වූ සාමූහික ප්‍රයත්නයකි.

පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, වයඹ විශ්වවිද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර අධ්‍යයනාංශය සහ බ්ලූ රිසෝර්ස් ට්‍රස්ට් ආයතනය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශය සමඟ එක්ව මෙම ක්‍රියාවලියට දායකත්වය සැපයූ අතර, මේ සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කළහ.

තානාපති පීරිස් මැතිතුමා ඉදිරිපත් කළ හැඳින්වීමේ කතාව:https://youtu.be/S3EB7C0I0kY
යෝජනාව පූර්ණ වශයෙන් සම්මත කිරීම: https://youtu.be/gnJ2huRVs3k

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2022 මැයි 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close