චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315ක් සහ RRP ගමන් බලපත්‍ර 34ක් නිකුත් කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315ක් සහ RRP ගමන් බලපත්‍ර 34ක් නිකුත් කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 මාර්තු 11, 22 සහ 29 යන දිනවල සිය චාන්සරි පරිශ්‍රයේ දී සංවිධානය කළ විශේෂ කොන්සියුලර් කඳවුරු තුනක දී උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315 ක් සහ RRP ගමන් බලපත්‍ර 34 ක් නිකුත් කෙරිණි.

ඒ අනුව, මාර්තු 11 වැනි දින පවත්වන ලද විශේෂ කඳවුරේ දී නාමක්කල් දිස්ත්‍රික්කයේ මෙට්ටුපට්ටි, කොයිම්බතූර් දිස්ත්‍රික්කයේ පූළුවපට්ටි, ඊරෝඩු දිස්ත්‍රික්කයේ භවානිසාගර් සහ අරචලූර්, සාලෙම් දිස්ත්‍රික්කයේ පවලතනූර්, මදුරෛ දිස්ත්‍රික්කයේ අනයියුර්, තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ ගුම්මිඩිපූන්ඩි සහ පූහල් යන ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා උප්පැන්න සහතික 101 ක් නිකුත් කරන ලදි. මාර්තු 22 වැනි දින, රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම්, ඊරෝඩු දිස්ත්‍රික්කයේ අරචලූර්, තිරුවන්නමලෛ දිස්ත්‍රික්කයේ තවසි, මදුරෙයි දිස්ත්‍රික්කයේ උචපට්ටි, දිණ්ඩිගුල් දිස්ත්‍රික්කයේ අඩියනූතු සහ පුතුපට්ටි යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා පුරවැසි සහතික 158 ක් සහ උප්පැන්න සහතික 17 ක් නිකුත් කරන ලදි.

මාර්තු 29 වැනි දින පවත්වන ලද විශේෂ කඳවුර සඳහා, පුදුක්කෝට්ටෛ දිස්ත්‍රික්කයේ අලියනිලෛ, ට්‍රිචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සහ වජවන්දන්කෝට්ටෛ යන ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහභාගී වූ අතර, එහිදී පුරවැසි සහතික 157 ක් සහ උප්පැන්න සහතික 09 ක් නිකුත් කරන ලදි. තවද, මෙම දූත මණ්ඩලය සහ සරණාගතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) එක්ව ක්‍රියාත්මක කරන, ස්වේච්ඡාවෙන් සියරට පැමිණවීමේ ක්‍රියාවලියට සහභාගී වීමට කැමැත්තත් දක්වන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන) විදේශ ගමන් බලපත්‍ර 34ක් ද එම කඳවුරේදීම නිකුත් කරන ලදි.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 අප්‍රේල් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close