තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම

තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම

පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීන තාක්ෂණික සහයෝගිතා කවුන්සිලය (DFA-TCCP), පිලිපීනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-පිලිපීන සහල් පර්යේෂණ ආයතනය (PhilRice) සහ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ව්‍යාප්ති/තාක්ෂණ ශිල්පීන්/පර්යේෂකයන් තිස් දෙදෙනෙකු (32) සඳහා සහල් ඒකාබද්ධ බෝග කළමනාකරණය (Palay Check) පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීම (TOT) හා සබැඳි පුහුණු වැඩසටහනක් අතථ්‍ය අයුරින් ආරම්භ කෙරිණි.

Palay Check පද්ධතිය යනු බෝග කළමනාකරණය පිළිබඳව ඉගැන්වීම සහ ගොවීන් හා දිගු අතරමැදියන්ට සහල් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණ කටයුතු සහ හොඳම භාවිතයන් පිළිබඳව දැනුම බෙදා හැරීම සඳහා වූ වේදිකාවක් ලෙස පිලිපීනය විසින් භාවිතා කරනු ලබන සහල් ඒකාබද්ධ බෝග කළමනාකරණ පද්ධතියකි. උසස් තත්වයේ සහල් සහ බීජ නිෂ්පාදනය පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම, සහල් බෝග කළමනාකරණ පිළිවෙත්, ගොවිපොළ යාන්ත්‍රිකකරණය හා ඔවුන් ආවරණය වන ප්‍රදේශවල සිටින ගොවීන්ට මෙම කරුණු උගන්වන්නේ කෙසේද යන කරුණු අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සඳහා සකස් කරන ලද මෙම වැඩසටහන, මොඩියුල තුනකින් සමන්විත කණ්ඩායම් සහ අත්දැකීම් සහිත පුහුණුවක් හරහා ක්‍රියාත්මක කෙරේ.

සිය ආරම්භක දේශනය මගින් අදහස් දැක්වූ DFA-TCCP හි අධ්‍යක්ෂ ජනරාල් ලිලිබත් ඩියපෙරා මහත්මිය, 2019 දී සිදු වූ සිය අවශ්‍යතා තක්සේරු කිරීමේ සංචාරය අතරතුර හඳුනාගනු ලැබූ සොයාගැනීම් මත පදනම් වූ මෙම ක්‍රියාකාරකම, ශ්‍රී ලංකාව සඳහා සිය නියෝජිතායතනය ක්‍රියාත්මක කරන තාක්ෂණික සහය වැඩසටහනේ තුන්වන අදියර බව සඳහන් කළා ය. තවද, මෙම වැඩසටහන පුරාවට වටිනා සහයෝගයක් ලබා දුන් තානාපති කාර්යාලය ඇතුළු පාර්ශ්වකරුවන් මෙන්ම ශ්‍රී ලංකාව හා පිලිපීනය නියෝජනය කරමින් සහභාගී වූ රාජ්‍ය ආයතනවලටද එතුමිය සිය ස්තුතිය පළ කළා ය.

මෙහිදී සිය පණිවිඩය ඉදිරිපත් කළ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය, ආර්ථික හා ජාතික සංවර්ධනය ගත් කල කෘෂිකාර්මික කර්මාන්තය මගින් ඉටුවන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව විස්තර කළා ය. තවද, කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, ඉඩම් ඵලදායිතාව ඉහළ නැංවීම සහ සහල් ස්වයංපෝෂිතභාවය සහ තිරසාරභාවය සඳහා සියල්ල ඇතුළත් කරන ලද සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන සෞභාග්‍යයේ දැක්ම නමැති ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ මුලපිරීම් පිළිබඳව ද එතුමිය සාකච්ඡා කළා ය.

තවද, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රමුඛතා ක්ෂේත්‍රවල සහයෝගීතාව ඉහළ නැංවූ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ පැවැත්වූ මුලපිරීම් තුනටම සහභාගී වූ දෙරටේ අදාළ රේඛීය ආයතනවලට, පිලිපීන සහල් පර්යේෂණ ආයතනයට හා DFA-TCCP ආයතනයට එතුමිය සිය කෘතවේදීත්වය පළ කළා ය.

පිලිපීනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලේකම් විලියම් ඩාර් මහතා සහ බංග්ලාදේශයේ පිලිපීන තානාපති ඇලන් ඩෙනීගා මැතිතුමා ද මෙම ක්‍රියාවලිය සඳහා සිය සහයෝගය දක්වමින් පණිවිඩ නිකුත් කළහ. PhilRice හි සංවර්ධන නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ආචාර්ය කේරන් එලොයිසා බැරෝගා මහත්මිය දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කොට සහභාගිවන්නන් සහ පුහුණු කළමණාකරණ කණ්ඩායම හඳුන්වා දුන්නා ය.

මෙම තාක්ෂණික ආධාර වැඩසටහන, පිලිපීනය සිය විශේෂඥ දැනුම වර්ධනය කරගෙන ඇති අංශ හරහා ආසියානු සහ පැසිෆික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණික සහය ලබා දීම අරමුණු කර ගනිමින් DFA-TCCP ආයතනය ක්‍රියාත්මක කරන දකුණු-දකුණු සහයෝගීතා මුලපිරීමකි. ඉහත සඳහන් කරුණු ඇතුළු ක්‍රියාකාරකම් මාලාව, 2021 වර්ෂයට යෙදුණු, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 60 වැනි සංවත්සරය හා සබැඳි ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමේ අන්‍යෝන්‍ය ඉලක්කයට අනුකූල වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022   අප්‍රේල් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close