චීන - ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ව්‍යාපාර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබයි

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ව්‍යාපාර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබයි

චීන - ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) CZK ජාත්‍යන්තර ආයෝජන සමූහය, හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහය සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තැබීය. බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මෙම අත්සන් තැබීමේ උත්සවය සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්, CSLATE හි සභාපති චිරංජය උඩුමුල්ලගේ මහතා සහ එම ආයතනයේ නිලධාරීන්, CZK ජාත්‍යන්තර ආයෝජන සමූහයේ උප සභාපති ලියූ යෆෙයි මහතා සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලින් ෂූඩොන්ග් මහතා යනාදීහු සහභාගි වූහ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ස්ථාපිත කොට වසර 65ක් සපිරීමේ සංවත්සරය සහ රබර්-සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරයට සමගාමීව චීනය සමඟ ආර්ථික, සංස්කෘතික සහ වෙළෙඳ සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා මෙම වසර තුළ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පියවර රැසක් ක්‍රියාත්මක කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ තානාපති අචාර්ය පාලිත කොහොන මැතිතුමා, 2022 චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සඳහා ශ්‍රී ලංකාව මගින්ආකර්ෂණීය ජාතික ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම, ලංකා තේ,පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ අනෙකුත් ශ්‍රී ලාංකික නිෂ්පාදන ඇතුළු වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා CSLATE සමඟ එක්ව ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීම සහ චීනය වෙත ආනයනය කරන ශ්‍රී ලංකාවේ මැණික් සඳහා චීන බලධාරීන්ට සහ පාරිභෝගිකයින්ට පිළිගත හැකි ආකාරයේ ප්‍රමිතීන් ස්ථාපිත කිරීම යන කරුණු පිළිබඳව අවධාරණය කළේ ය. ඒ  අනුව, මෙම ප්‍රමිතීන් සකස් කරන ලෙස එතුමා චීන වෙළඳ අංශය වෙත ඇරයුම් කළේය.

මෙහිදී CSLATE සහ CZK කර්මාන්ත සමූහ පුද්. සමාගම අතර අවබෝධතා ගිවිසුමකට සහ ජෙම්ස් ට්‍රේඩින්ග් ප්ලැට්ෆෝර්ම් ආයතනය සහ මැණික් ආනයන සමාගමක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි. තානාපති කොහොන මැතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අප්‍රේල් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close