දෙරට අතර වැඩිදුර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

දෙරට අතර වැඩිදුර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා මාර්තු 15 දින නවදිල්ලියේ දී, ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී, බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා සහයෝගීතාව ඉහළ නැංවීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේ ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ඉපැරණි සමීප සබඳතා පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය සිං මැතිතුමා, මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත්තේ ය. ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය හා සබැඳි  ද්විපාර්ශ්වික සහයෝගීතාවයට අදාළ කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම ක්ෂේත්‍රයේ දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ පුළුල් කිරීමට මෙන්ම, දෙරට අතර අන්තර්ක්‍රියා ඉහළ නැංවීම සඳහා පවතින කෙටි හා මධ්‍ය කාලීන ව්‍යාපෘති පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

මෙහිදී, 2021 ජූනි මස ඉන්දියාව විසින් දීර්ඝ කරන ලද ඇ.ඩො.මි. 100 ක ණය රේඛාව යටතේ සිදු කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය ද සමාලෝචනය කරන ලදී. 2018 මාර්තු මස පැවති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආරම්භක සමුළුවේ දී ප්‍රකාශයට පත් කළ පරිදි, නිවාස සහ රජයේ ගොඩනැගිලිවල වහලවල සවි කරන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා පද්ධති වැනි ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා මෙම ණය සීමාව දීර්ඝ කරන ලදී.

තවද, ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අතර පසුගිය සතියේ දී අත්සන් තබන ලද, යෝජිත සාම්පූර් සූර්ය බලාගාරය පිළිබඳව ද විදුලිබල අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා වන ඉන්දීය පෞද්ගලික අංශයේ ආයෝජන සම්බන්ධයෙන් මෑතක දී ප්‍රවිශ්ඨ වූ අවබෝධතා ගිවිසුම පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් සකසන ලද සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023" නමැති මාර්ග සිතියමේ පිටපතක් ද අමාත්‍ය සිං මැතිතුමා වෙත පිළිගන්වන ලදී. සුළං සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති සඳහා වැඩි ඉඩක් ලබා දෙමින්, බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීම, මෙම උපායමාර්ගික ප්‍රතිපත්තිය මගින්  අපේක්ෂා කෙරේ.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 මාර්තු 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close