තානාපති කනනාදන් මැතිතුමා ගිනියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති කනනාදන් මැතිතුමා ගිනියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

කෙන්යාවේ සිටින, ගිනියාවේ  ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරන ලද කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෛ කනනාදන් මැතිතුමා 2022 මාර්තු 11 වැනි දින, කොනක්‍රි හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී ගිනියාවේ ජනාධිපති මමාඩි ඩුම්බෝයා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වී ය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයෙන් අනතුරුව, දෙරටෙ හි ද්විපාර්ශ්වික සබඳතාවල තත්ත්වය සහ පොදු අවශ්‍යතා පිළිබඳ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා කෙටි හමුවක නිරත වන ලෙස ජනාධිපති ඩුම්බෝයා මැතිතුමා ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත ඇරයුම් කළේ ය. ගිනියාවේ දී අක්තපත්‍ර පිළිගැන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම තානාපතිවරයා වශයෙන් තානාපති කනනාදන් මැතිතුමා හැඳින්වීමට හැකි වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කළ ගිනියාවේ ජනාධිපතිවරයා, මෙය දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා හා සබැඳි ‘ඓතිහාසික’ අවස්ථාවක් බවද සඳහන් කළේ ය.

තානාපති කනනාදන් මැතිතුමා ජනාධිපති ඩුම්බෝයා මැතිතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමී ය. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ඩුම්බෝයා මැතිතුමා, තානාපතිවරයා වෙත සිය ස්තුතිය පුද කළ අතර, සිය අවංක සුබ පැතුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පළ කරන ලෙස කනනාදන් මැතිතුමාගෙන් ඉල්ලා සිටියේ ය.

දෙරට අතර සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව සිය අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා සහ තානාපතිවරයා, සැබෑ විභවයන් කරා ළඟා වීම සඳහා අපේක්ෂා සහගත ආර්ථික ක්‍රියාකාරකම් දායක කරගනිමින් ක්‍රියාකාරී සහයෝගීතාවක් පිහිටුවීම සඳහා  දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සක්‍රීය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ නව කොවිඩ්-19 ප්‍රභේදය ඵලදායී ලෙස පාලනය කළ බවත්, වසංගතය වැළැක්වීමේ උපාය මාර්ගයක් සහ පාලන ක්‍රමවේදයක් ලෙස ජනගහණයෙන්  81%කට වඩා වැඩි පිරිසක් එන්නත්කරණයට යොමු කළ බවත් තානාපති කනනාදන් මැතිතුමා ගිනියා ජනාධිපතිවරයා වෙත  දැනුම් දුන්නේ ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඵලදායී එන්නත්කරණ වැඩපිළිවෙල පැසසීමට ලක් කළ ජනාධිපති ඩුම්බෝයා මැතිතුමා, වසංගතයෙන් බලපෑම් එල්ල වූ ආර්ථිකය කඩිනමින් යළි නැගිටුවීම සඳහා එතුමා දරන ප්‍රයත්නයන් හි සාර්ථකත්වය උදෙසා සුබපැතුම් පළ කළේ ය.

තවද, පශ්චාද් යුද ගැටුම් ආශ්‍රිත ගැටලු විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ ඉතිරිව ඇති සියලුම ගැටලු කඩිනමින් විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය සතු කැපවීම පිළිබඳව ද තානාපති කනනාදන් මැතිතුමා ගිනියාවේ ජනාධිපතිවරයාට දැනුම් දුන්නේ ය. මේ සම්බන්ධයෙන් ස්ථාපිත කොට ඇති අභ්‍යන්තර යාන්ත්‍රණ අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීම සඳහා මැනවින් ක්‍රියාත්මක වන බවද එතුමා සඳහන් කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ ගිනියාවේ ජනාධිපතිවරයා, පශ්චාද් යුද ගැටුම් ආශ්‍රිත ගැටලු විසඳීමේ අරමුණින්, හඳුනාගත් ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය පිළිගැනීම සඳහා බහුපාර්ශ්වික සංසදවල දී ගිනියාව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.

අප්‍රිකාවේ ව්‍යවසායකයෙකු වශයෙන් කටයුතු කළ තානාපති කනනාදන් මැතිතුමා ගිනියාව සමඟ පැවැත්වූ සබඳතා සහ ගිනියාවේ හිටපු ජනාධිපති ඇල්ෆා කොන්ඩේ මැතිතුමා යටතේ ආයෝජන පිළිබඳ උපදේශකවරයා වශයෙන් සේවය කරමින් කටයුතු කළ අතීත භූමිකාව පිළිබඳව සිහිපත් කළ ජනාධිපති මමාඩි ඩුම්බෝයා මැතිතුමා, ගිනියාවේ ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය (APIP) හරහා බඩඉරිඟු වගාව සහ සීනි කර්මාන්තය වෙනුවෙන්  විදේශ ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් තානාපතිවරයා වෙත සිය ස්තුතිය පළ කළේ ය. ගිනියාවේ විදේශ ආයෝජන සඳහා ඉදිරිපත් කර ඇති වඩාත්ම වාසිදායක සහ ලාභදායී නියමයන් සහ කොන්දේසි යටතේ, විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ආයෝජනය කිරීම සඳහා ගිනියාවේ තානාපතිවරයා ලෙස, ශ්‍රී ලංකාවෙන් ගිනියාව සඳහා තවත් ආයෝජන අවස්ථා ගෙන ඒමට හැකි බවත්, එමඟින් දෙරටටම ජයග්‍රහණ අත්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

අප‍්‍රිකාවේ මිත්‍රයෙකු වශයෙන් සහ විශේෂයෙන්ම ගිනියාවේ සමීප මිත්‍රයෙකු වූ තානාපති කනනාදන් මැතිතුමා සතුව සහයෝගිතාවය වැඩිදියුණු  කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව මනා දැනුමක් තිබූ බැවින්, දෙරටේ යහපත සඳහා දෙරට අතර දේශපාලනික හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ සුවිශේෂී හැකියාවක් එතුමා තුළ තිබූ බව ජනාධිපතිවරා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවට ගිනියා රජය සිය සහය ලබා දෙන බවත්,  ශ්‍රී ලංකාව සහ ගිනියාව අතර පවත්නා සබඳතා ආශ්‍රිතව හඳුනාගත් ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තානාපතිවරයා වෙත තම සුබපැතුම් පළ කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, අනතුරුව මෙම සාකච්ඡාව නිම කළේ ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2022 මාර්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close