ජෙඩාහි VFS (වීසා පහසුකම් සේවා සැපයීමේ ගෝලීය සේවය) මධ්‍යස්ථානය තුළ පවත්වන ලද ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන කුටිය

ජෙඩාහි VFS (වීසා පහසුකම් සේවා සැපයීමේ ගෝලීය සේවය) මධ්‍යස්ථානය තුළ පවත්වන ලද ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන කුටිය

සෞදි අරාබි රාජධානියේ ජෙඩා හි පිහිටි VFS වීසා අයදුම් මධ්‍යස්ථානය තුළ පැවති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධන කුටියක්, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පකීර් මොහිදීන් අම්සා මැතිතුමා විසින් 2022 මාර්තු 1 වැනි දින විවෘත කරන ලදි.

මෙම ප්‍රදර්ශන කුටිය ආකර්ෂණීය අංග දෙකකින් සමන්විත විය. ඉන් එකක් මගින් ශ්‍රී ලංකාවේ වෙසෙන සුන්දර වන සතුන් ප්‍රදර්ශනය කෙරුණු අතර අනෙක් අංගය තුළින් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ විදහා දැක්විණි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන වීඩියෝ දර්ශන ද මෙහිදී විකාශනය කෙරිණි. තම වීසා කටයුතු සහ විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා VFS මධ්‍යස්ථානයට පැමිණෙන පිරිස්වලට ශ්‍රී ලංකාව පිළිබඳ වැදගත් සංචාරක තොරතුරු මෙම ප්‍රදර්ශන කුටිය මගින් සපයනු ලැබේ.

ශ්‍රී ලාංකික සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයට අනුග්‍රහය දක්වන මෙම ප්‍රදර්ශන කුටිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයා VFS කාර්යාලය වෙත සිය ස්තුතිය පුද කළේය. VFS මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හොසින් ෆලෙක් මහතා, මෙහෙයුම් කළමනාකාර ෆස්මිල් කාසිම් මහතා (VFS මධ්‍යස්ථානය), VFS මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොවිඩ්-19 වසංගතය හා සබැඳි අහිතකර බලපෑම් හේතුවෙන් 2020 සහ 2021 කාල පරිච්ඡේදය තුළ සෞදි අරාබියේ සිට මෙරටටපැමිණි සංචාරකයන්ගේ පැමිණීම් 2019 වර්ෂයට සාපේක්ෂව විශාල ලෙස අඩු විය. කෙසේවුවද,  ශ්‍රී ලංකාව කොවිඩ් ආශ්‍රිත සීමා ලිහිල් කොට ඇති බැවින්, 2022 වර්ෂයේ ආරම්භයේ සිට ධනාත්මක වර්ධනයක් නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2022 මාර්තු 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close