ඉරානයේ සහ අසල්වැසි රටවල ලංකා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම

ඉරානයේ සහ අසල්වැසි රටවල ලංකා තේ වෙළෙඳපොළ පුළුල් කිරීම

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඉරානයේ තේ සංගමය, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව 2022 මාර්තු 02 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී “ඉරානයේ සහ අසල්වැසි රටවල ලංකා තේ වෙළඳපොළ පුළුල් කිරීම” පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කළේය. තේ සංගම්, ආහාර තොග වෙළෙඳ සංගමය, ඉහළ පෙළේ තේ ආනයනකරුවන් සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ආරාධිතයන් 30 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වූහ. මෙම සාකච්ඡාවේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීම සහ බටහිර ආසියා කලාපයේ ලංකා තේ වෙළෙඳපොළ සුරක්ෂිත කිරීමයි.

සාකච්ඡාව ආරම්භ කරමින්, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා ප්‍රකාශ කළේ කොවිඩ්-19 අර්බුදයේ දී පහත නොවැටුණු ශ්‍රී ලංකාවේ අපනයනවලින් එකක් ලෙස තේ පවතින බවයි. ලංකා තේවල රසය සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් හේතුවෙන් ලංකා තේ සඳහා වැඩිවන ඉල්ලුම අවධාරණය කරමින්, ඉරාන ඉස්ලාමීය ජනරජය තුළ ශ්‍රී ලංකා තේ ජනප්‍රියත්වය රඳවා ගැනීමටත් අසල්වැසි රටවල ස්ථානයක් සුරක්ෂිත කිරීමටත් හැකිවන පරිදි නිෂ්පාදනය යළි දියත් කරන ලෙස එතුමා තේ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඉරානය ලංකා තේ අපනයනය සඳහා සිව්වන විශාලතම අපනයන ගමනාන්තය වන බැවින් ඉරානය වැදගත් වෙළෙඳපොළක් වන බව ද තානාපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජය හේරත් මහතා ලංකා තේ කර්මාන්තයේ සමස්ත දැක්ම, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද දැඩි තත්ත්ව ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකා තේ අපනයන වෙළෙඳපොළේ පවතින වත්මන් ප්‍රවණතා සහ ඉරානයේ සහ අසල්වැසි රටවල පවතින සහ අනාගත අලෙවිකරණ ව්‍යාපාර පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. තවද, හරිත කෘෂිකාර්මික වැවිලි ආර්ථිකය ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකා තේ කර්මාන්තය තිරසාර සහ සුවතා යන සාධක දෙකටම ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ඔහු අවධාරණය කළේය.

ඉරාන තේ සංගමය වෙනුවෙන්, ෆෑන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අලිරේසා බර්දායි මහතා ඉරාන ඉස්ලාමීය ජනරජයේ තේ වෙළඳපොළ පිළිබඳව පැහැදිලි කළ අතර, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉරානයේ ලංකා තේ වෙළඳපොළ පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති බව සහ ඉහළ මිල ගණන් සහ සැපයුම් දාමය ඇතුළත් ගැටළු පිළිබඳව කතා කළේය. ප්‍රධාන විධායක නිලධාරී බර්දායි මහතා බටහිර ආසියා කලාපයේ ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා පවතින අවස්ථා පෙන්වා දුන් අතර, ඉරානයේ ලංකා තේ වෙළඳපොළ රඳවා ගැනීම සඳහා තම උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.

ඊට ප්‍රතිචාර දක්වමින් මානුෂීය වෙළෙඳ යාන්ත්‍රණය යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් යුතුව ඉරාන තේ වෙළඳපොලේ ඉල්ලීම් අඛණ්ඩව ඉටු කරන බව තානාපති අපොන්සු මැතිතුමා ප්‍රකාශ කළේය. සාකච්ඡා සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඉරාන තේ සංගමය ශ්‍රී ලංකා තානාපතිවරයාට සහ එතුමාගේ කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කළේය.

මෙම උත්සවය මඟින් ඉරාන තේ ආනයනකරුවන් සඳහා ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සමඟ ඔවුන්ගේ සබඳතා හුවමාරු කර ගැනීම සඳහා වේදිකාවක් නිර්මාණය කළේය. එමගින් ඉරානයේ ලංකා තේ ආනයනකරුවන්ට ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට ද අවස්ථාව උදා විය.

සහභාගි වූවන් හට තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉහළ පෙළේ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර ලංකා තේ පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 මාර්තු 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close