ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ඉතාලි ජනරජයේ ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ඉතාලි ජනරජයේ ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2022 පෙබරවාරි 18 වැනි දින රෝමයේ පැලසෝ ඩෙල් ක්විරිනාලේ හි දී ඉතාලි ජනරජයේ ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා වෙත සිය අක්තපත් පිළිගැන්වීය.

අක්තපත් පිළිගැන්වීමෙන් අනතුරුව, තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා, ඉතාලි ජනරජයේ රජය සහ එහි ජනතාව වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා‍ගේ උණුසුම් ආචාරය සහ සුබපැතුම් පිරිනැමීය.

අක්තපත් පිළිගැන්වීම අවසන් වූ වහාම, තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමාට ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා සමඟ පුද්ගලික සාකච්ඡාවක යෙදීම සඳහා අවස්ථාව හිමිවූ අතර, එහිදී තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සෑම මට්ටමකින්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම ප්‍රකාශ ක‍ළේය.

ශ්‍රී ලංකාවේ හා ඉතාලියේ සංවර්ධනය සඳහා එක හා සමානව විශාල වශයෙන් දායක වී ඇති විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාවන් විශාල සංඛ්‍යාවක් සඳහා ඉතාලිය තම නිවසෙන් ඈත පිහිටි නිවහනක් වී ඇති බව තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා සඳහන් කළේය. විදේශික ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් සඳහා සත්කාරකත්වය සැපයීම සහ විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය උග්‍ර ලෙස පැවති කාලසීමාවේ දී එම ප්‍රජාවගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳව තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා ඉතාලි රජය වෙත සිය කෘතඥතාව පළ කළේය.

ද්විපාර්ශ්වික සබඳතා, සංස්කෘතික, වෙළඳ, ආයෝජන, ශ්‍රමික හා අධ්‍යාපන ක්ෂේත්‍රවල පවත්නා සබඳතා සහ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා වන සිය මෙහෙයුම පිළිබඳව තානාපති වැල්ලවත්ත මැතිතුමා විස්තර කළේය. ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට සිය නිපුණතා සහ දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා පුහුණු අවස්ථා ලබා ගැනීමට උපකාරී වන ලෙස ඉතාලි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින්, රටවල් දෙකෙහිම අන්‍යෝන්‍ය ප්‍රතිලාභය පිණිස තරුණ පරපුර කෙරෙහි අවධානය යොමු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා වූ සිය අභිලාෂය තානාපතිවරයා පළ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනමමින් ජනාධිපති සර්ජියෝ මටරෙල්ලා මැතිතුමා විදේශික ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් ඉතාලියේ විවිධ ක්ෂේත්‍රවල කටයුතු කිරීම පිළිබඳවත්, රටේ සංවර්ධනය සඳහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳවත් තමන් මහත් පැහැදීමකින් පසුවන බව පැවසීය. දෙරට අතර විවිධාකාර ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන ඒකාබද්ධ ප්‍රයත්නවලට ඉතාලියේ සහයෝගය ලබා දෙන බවට ජනාධිපතිවරයා සහතික කළේය.

තානාපති වැල්ලවත්ත මැතිතුමා සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාර්ථියෙකි. සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යයන ක්ෂේත්‍රය හරහා ජාතික ප්‍රතිපත්තිය මෙහෙයවීම පිළිබඳ දීර්ඝ කාලීන ඉතිහාසයක් එතුමා සතු වන අතර, සමාජ විද්‍යාව පිළිබඳ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අභිලාෂකාමී පර්යේෂකයෙකි. පුද්ගලික අංශය තුළ ඉහළ පෙළේ තීරණ ගැනීමේ සිට ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සැකසීම දක්වා විවිධ ක්ෂේත්‍ර හරහා විහිද යන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පළපුරුද්ද ද එතුමා සතුව පවතී.

තානාපති වැල්ලවත්ත මැතිතුමා 1987 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ කලාවේදී උපාධිය දිනා ගත්තේය. ඉතාලිය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම ලබන විට එතුමා සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරමිනි. කළින් එතුමා දැරූ ගෞරවණීය තනතුරු අතර, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති, ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මණ්ඩල සාමාජික යන තනතුරු ද විය. තවද, එතුමා විවිධ විෂයයන් පිළිබඳ අධ්‍යයන පත්‍රිකා ගණනාවක් පළකොට ඇති අතර, ආර්ථික, දේශපාලනික හා සාමාජීය ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතුවල නිරත වී ඇත. එතුමා සමාජ විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා ඇත. ශාලිකා ප්‍රනාන්දු මහත්මිය සමඟ විවාහ වී සිටින එතුමාට දරුවන් සිවු දෙනෙකු සිටී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2022 පෙබරවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close