මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය අයර්ලන්ත ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි  

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය අයර්ලන්ත ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි  

මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය 2022 පෙබරවාරි 16 වැනි දින අරාස් අන් අෂ්ටරන් ජනාධිපති නිල නිවසේ පැවති උත්සවයක් අතරතුරදී, අයර්ලන්ත ජනාධිපති මයිකල් ඩී හිගින්ස් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූ අතර, එහිදී එතුමිය එක්සත් රාජධානියේ සිටින, අයර්ලන්තය සඳහා ශ්‍රී ලංකාවේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් අක්ත ගන්වන ලදී.

මෙම උත්සවයේ දී අක්තපත්‍ර පිළිගැන්වීම සිදු වූ අතර, ඉන් අනතුරුව ගැල්වේ, රෙන්මෝර් බැරැක්කයේ 1 වැනි පාබල සේනාව විසින් පිරිනමන ලද ගෞරව සම්මාන මුරයක් සහ ඩබ්ලින් හි කැතල් බෘගා බැරැක්කයේ යුධ හමුදා අංක 1 තූර්ය වාදක කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය කරන ලදී. මහ කොමසාරිස්වරියගේ ස්වාමි පුරුෂයා වන වෛද්‍ය සුදත් තල්පහේවා මහතා සහ දෙවැනි ලේකම් තිමුතු දිසානායක මෙනවිය, මහ කොමසාරිස්වරිය සමඟ මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිය හ.

දෙරට අතර පවතින මිත්‍ර සබඳතා සහ ජනතාව අතර පවතින ඓතිහාසික සබඳතා සිහිපත් කළ මහ කොමසාරිස්වරිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් ජනාධිපති හිගින්ස් මැතිතුමා වෙත පළ කළේ ය. ජනාධිපති  හිගින්ස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවාසීන්ගේ යහපැවැත්ම උදෙසා සිය ශුභාශිංසන පළ කළේ ය. සියවස් ගණනාවකට පෙර අයර්ලන්ත මිෂනාරිවරුන් විසින් ශ්‍රී ලංකාවේ කතෝලික පාසල් පිහිටුවීමත් සමඟ ආරම්භ වූ අධ්‍යාපන සබඳතා ඇතුළුව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පවත්නා දිගුකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තීව්‍ර කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

1998 වර්ෂයේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ මහ කොමසාරිස්වරිය, ලන්ඩන් නුවර සඳහා සිය පත්වීම ලැබීමට පෙර, ඔස්ට්‍රියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ වියානා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස සේවය කළා ය.

මින් පෙර එතුමිය මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සහ අමාත්‍යවරිය, බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක අමාත්‍යවරිය සහ පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු වැනි ලේකම් වශයෙන් රාජ්‍යතාන්ත්‍රික තනතුරු දරා ඇත.

එතුමිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහ ප්‍රංශයේ එකොල් නෂියොනාල් දැඩ්මිනිස්ට්‍රාෂියොන් විශ්වවිද්‍යාලයේ  උපාධිධාරිනියක් වන අතර, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් ද වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 පෙබරවාරි 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close