ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය හමු වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, එතුමිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරයි

ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය හමු වූ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, එතුමිය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා පෙබරවාරි 11 වැනි දින නවදිල්ලි නුවර දී, ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මැතිනිය හමු විය.

මෙම තීරණාත්මක අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඇය තුළ පවත්නා පුද්ගලික උනන්දුව සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය මුදල් අමාත්‍යවරියට සිය ස්තුතිය පුද කළේ ය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා නිරත වූ ඉන්දීය සංචාරය අතරතුර දී එකඟත්වය පළ කළ සහයෝගීතාවයේ කුළුණු හතර යටතේ අපේක්ෂිත පරිදි, ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහය පිළිබඳව ද එතුමා සිය කෘතඥතාව පළ කළේ ය.

කුළුණු හතරකින් යුත් ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා සංකල්පය යටතේ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ණය ප්‍රමාණය  පිළිබඳ කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳව ද, මහ කොමසාරිස්වරයා අමාත්‍ය සීතාරාමන් මැතිනිය සමඟ පසු විපරම් කළේ ය. 2022 ජනවාරි 18 වැනි දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා අතර පැවති අතථ්‍ය හමුවක් අතරතුර දී මෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අවසන් වරට සමාලෝචනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී නවදිල්ලි නුවර නිරත වීමට නියමිත සංචාරය හා සබැඳි කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අමාත්‍ය සීතාරාමන් මැතිනිය සමඟ සාකච්ඡා කළේය.

නිර්මලා සීතාරාමන් මැතිනිය 2019 වසරේ මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස සේවය කොට ඇත. එතුමිය මීට පෙර,
එනම්  2017 සිට 2019 වසර දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය.  සීතාරාමන් මැතිනිය මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරිය (ස්වාධීන භාරයේ) ලෙස ද කටයුතු කොට ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 පෙබරවාරි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close