ශ්‍රී ලංකා - ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි

ශ්‍රී ලංකා – ඉන්දියානු ආර්ථික සබඳතා උපායමාර්ගික තලයකට නැංවීම සඳහා තෙරපුම් ක්ෂේත්‍ර අට සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා අවධාරණය කරයි

මෑතක දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර දී ප්‍රකාශයට පත් කරන ලද සිව් ආධාරක සහයෝගීතා පැකේජයේ සිව්වැනි ආධාරකයට අනුකූලව, ශ්‍රී ලංකා - ඉන්දියානු සබඳතා ගනුදෙනු අවධියක සිට උපායමාර්ගික අවධියක් දක්වා ඉහළ නැංවීමේ දී තෙරපුම් ක්ෂේත්‍ර අටක් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ප්‍රකාශ  කළේ ය.

“ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/ 2023" නමැති මාර්ගෝපදේශය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලියේ පිහිටි ප්‍රමුඛතම බුද්ධි මණ්ඩලයක් වන විවේකානන්ද ජාත්‍යන්තර පදනම විසින්  ජනවාරි 27  දින අතථ්‍ය අයුරින් සංවිධානය කරන ලද වැඩසටහනක් අතරතුර දී මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම අදහස් පළ කළේ ය.

ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය කෙරෙහි දිල්ලිය පදනම් කරගත් බුද්ධි මණ්ඩලවල අවධානය යොමු කිරීම සඳහා  පැවැත්වූ වැඩසටහන් මාලාවක අංගයක් වශයෙන් සංවිධානය කරන ලද මෙම අතථ්‍ය වැඩසටහන අතරතුර දී, ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගික මාර්ගෝපදේශයෙන් අපේක්ෂිත ශ්‍රී ලංකා - ඉන්දියානු සබඳතා උපායමාර්ගික තලයකට ඔසවා තැබීම සඳහා ඛනිජ තෙල්, විදුලිය, වරාය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, අපනයනය, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්තය යන අංශවල තෙරපුම් ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විස්තර කළේය.මෙවැනි පසුබිමක් තුළ ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ඉන්දියාවේ සමස්ත බලශක්ති උපායමාර්ගය සඳහා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සහ ත්‍රිකුණාමල වරාය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය එතුමා අවධාරණය කළ අතර, එය දෙරටටම ප්‍රයෝජනවත් වන බවද සඳහන් කළේය.

නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මැතිතුමා මෙම වැඩසටහන ආරම්භයේ දී ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය නමැති මාර්ගෝපදේශය සහභාගී වූ පිරිසට හඳුන්වා දුන් අතර මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව පුද්ගලාන්තර සබඳතා, සම්බන්ධතාව,බලශක්තිය යනාදී අංශ ඇතුළු ද්විපාර්ශ්වික සබඳතාරැසක් පිළිබඳව අවධානය යොමු වූ සාකච්ඡාවක් පැවැත්විණි.

අතථ්‍ය අයුරින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් සහභාගී විය.  ඉරානයේ හිටපු ඉන්දියානු තානාපති දින්කර් ශ්‍රීවාස්තව් මැතිතුමා, හිටපු නියෝජ්‍ය හමුදා මාණ්ඩලික ප්‍රධානී  ලුතිනන් ජනරාල් රවී සව්හ්නි මැතිතුමා, සහ ඉන්දීය නැව් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් දෙව්ලි මහතා යනාදීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය අරවින්ද් ගුප්තා මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදි.

ගුණාත්මක පර්යේෂණ සහ ගැඹුරු අධ්‍යයන ප්‍රවර්ධනය කෙරෙන, ස්වාධීන මෙන්ම අපක්ෂපාතී ආයතනයක් වන විවේකානන්ද ජාත්‍යන්තර පදනම 2009 වසරේ දී ආරම්භ කෙරිණි. ඉන්දියාවේ වත්මන් ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මැතිතුමා එහි ආරම්භක අධ්‍යක්ෂවරයා ය. එහි වත්මන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ආචාර්ය අරවින්ද් ගුප්තා මහතා ඉන්දියාවේ හිටපු නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයෙකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2022 ජනවාරි 31  වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close