ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය පිළිබඳ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් විදේශ අමාත්‍යාංශය සහ ජපාන තානාපති කාර්යාලය විසින් 2022 ජනවාරි 19 වැනි දින සසකාවා මධ්‍යස්ථානයේ දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා මෙන්ම, රාජ්‍ය ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, රූපවාහිනී සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.

2022 වසරේ දී සංවිධානය කිරීමට නියමිත විවිධ සමරු උත්සව පිළිබඳව මෙන්ම, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීමේ මෙම සුවිශේෂී මොහොත සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා පාර්ශ්වකරුවන් අතර හමුවක් මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වීමට ප්‍රථම පවත්වන ලදී. මෙවැනි පසුබිමක් තුළ, ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සමාජීය හා සංස්කෘතික බැඳීම් ඉස්මතු කරමින් හම්බන්තොට, කෑගල්ල, යාපනය සහ මඩකලපුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් හතරක් (04) සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ජාතික තරුණ සේවා සභාව පාසල් සිසුන් සඳහා දීප ව්‍යාප්ත රචනා තරග (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි), චිත්‍ර තරග සහ කෙටි වීඩියෝ තරග සංවිධානය කිරීමට මූලිකත්වය ගනී. මෙම ක්‍රියාකාරකම් මගින් දෙරට අතර පවත්නා ඓතිහාසික සබඳතා මෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සබඳතා විදහා දැක්වෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාවේ කාලානුරූපී මිතුරෙකු ලෙස ජපානය සෑම විටම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් සිය  සහය ලබා දී ඇති බව සඳහන් කළේ ය. විශේෂයෙන් පසුගිය වසර කිහිපය තුළ දේශපාලන, ආර්ථික සහ පුද්ගලාන්තර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීමෙහිලා දෙපාර්ශ්වය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්,දෙරට අතර පවත්නා විචිත්‍රවත් සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමට සහ ශක්තිමත් කිරීමත් ඉදිරි වසරවලදී එය තවත් ඉහළ මට්ටමකට ගෙන යාමටත් ශ්‍රී ලංකා රජය ජපානය සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය පීරිස් මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මැතිතුමා නව වසර වෙනුවෙන් නිකුත් කළ පණිවිඩය පිළිබඳව සඳහන් කළ තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා, ජපානයේ පශ්චාත් යුධ තත්ත්වය හමුවේ ජාත්‍යන්තරය වෙත නැවත අවතීර්ණ වීම සඳහා  හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා සිය සහයෝගය  කාරුණිකව ලබා දුන් බව ජපානය සැම විටම මතක තබා ගන්නා බවත්, 2011 වසරේ දී ජපානයේ නැගෙනහිර සිදු වූ මහා  භූමිකම්පාවෙන් පසුව ශ්‍රී ලංකාව ජපානය වෙත උපකාර කළ බවත් මෙම මාධ්‍ය හමුවේ දී සඳහන්  කළේ ය. "අපගේ මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පුද්ගල හුවමාරුව කඩිනම් කිරීමටත්, මෙතෙක් ගවේෂණය නොකළ අපගේ මහත් ශක්‍යතා ගවේෂණය කිරීමටත්" කැපවන බව සඳහන් කරමින් තානාපති මිසුකොෂි මැතිතුමා සිය කැපවීම අලුත් කළේ ය.

විදේශ අමාත්‍යාංශය කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් සමඟ එක්ව ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කර මෙවැනි සුවිශේෂී සැමරුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වී ඇති බව සමාප්ති දේශනය පැවැත්වූ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ය. අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල් වටිනාකම් හේතුවෙන් පසුගිය වසර හැත්තෑව තුළ දෙරට එක්සත් වී ඇති බවත්, මෙම මූලික සාරධර්ම වඩාත් සමීප සබඳතාවක පදනම බවට පත්ව ඇති බවත්, මෙම ඓතිහාසික සංවත්සරය, එහි වැදගත්කම සහ ජාතීන් දෙක අතර පවත්නා පොදු අභිලාෂ සැබවින්ම පිළිබිඹු වන අයුරින් සැමරීම සම්බන්ධයෙන් සාකච්ඡා වල නිරත වන බවත් විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

විදේශ අමාත්‍යංශය                                                                                                                                                                                                                                     ජපාන තානාපති කාර්යාලය

කොළඹ                                                                                                                                                                                                                                                      ශ්‍රී ලංකාව

2022 ජනවාරි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close