ඩුබායි එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනයේ 2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අපනයන සන්නාම ප්‍රදර්ශනය සඳහා ඕමානයේ ව්‍යාපාරික සහෝදරත්වයට ආරාධනා කරයි

ඩුබායි එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනයේ 2022 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අපනයන සන්නාම ප්‍රදර්ශනය සඳහා ඕමානයේ ව්‍යාපාරික සහෝදරත්වයට ආරාධනා කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත්වෙන එක්ස්පෝ ඩුබායි වෙළඳ ප්‍රදර්ශනයේ 2022 පෙබරවාරි මස 17 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අපනයන සන්නාම ප්‍රදර්ශනය පිළිබඳව ඕමාන ව්‍යාපාරික ප්‍රජාවට හඳුන්වා දෙනු ලැබූ අතර ප්‍රදර්ශනය නැරඹීම සඳහා ද ආරාධනා කෙරිණි.

එම කාරණාව මූලික කරගෙන 2022 ජනවාරි මස 01 සිට 05 දින දක්වා ඕමානයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ මහලේකම් ෂිහාම් මරික්කාර් මැතිතුමා සමඟ එක්වූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සභාපති ඉංජිනේරු රේදා බින් ජුමා අල් සලේහ්, 2020 ඩුබායි එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනයේ ඕමාන කොමසාරිස් ජනරාල් සහ මස්කට්හි වාණිජ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උපදේශක මෝසෙන් කාමිස් අල් බලූෂි යන මහත්වරුන් හමු වූ අතර ශ්‍රී ලංකා අපනයන සන්නාම ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු ඔවුන් හට විස්තරාත්මක ව ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා අපනයන සන්නාම වෙළඳ ප්‍රදර්ශනය (The Sri Lanka Export Brands) යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ප්‍රමුඛතම අපනයන සන්නාම ප්‍රදර්ශනය කෙරෙන බහු-ආංශික ප්‍රදර්ශනයකි. ආහාර පාන, මැණික් හා ස්වර්ණාභරණ, කාබනික සහ ශාකසාර ඖෂධීය නිෂ්පාදන, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන, තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, වීදුරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන, මල් වගාව සහ ගෙවතු වගා නිෂ්පාදන, කෘතිම හා ස්වභාවික අත්කම්, ඇසුරුම් නිෂ්පාදන, ජල පිරිපහදු පද්ධති, යන්ත්‍රෝපකරණ සහ සැහැල්ලු ඉංජිනේරු නිෂ්පාදන, අපනයන අංශයට සේවා සපයන්නන්, ව්‍යාපාරික සහ වෘත්තීය සේවා යනාදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන්නා වූ ශ්‍රී ලංකා අපනයනකරුවන් 75 දෙනෙකු විසින් සිය නිෂ්පාදන සහ සේවා 2022 පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන එක්ස්පෝ ඩුබායි හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙහි දී ඕමාන නරඹන්නන් හට සිය නිෂ්පාදන/සේවා ප්‍රදර්ශනය කරන ශ්‍රී ලාංකික ආයතන 75 හි ඉහළපෙළේ නිලධාරීන් හමුවීමට සහ සාම්පල නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමටද අවස්ථාව ලැබෙනු ඇත.

ඩුබායි හි එකම ස්ථානයක දී ස්වකීය ශ්‍රී ලාංකික සගයන් විශාල පිරිසක් හමුවීමට සහ අන්තර් ක්‍රියා කිරීමට මෙන්ම සිය අන්‍යෝන්‍ය අවශ්‍යතා සඳහා අදාළ අංශ සමඟ ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට හැකි වන බැවින් ඩුබායි එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනයේ ඉහත කී ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමෙන් ඕමාන ව්‍යාපාරික සහෝදරත්වයට ඉමහත් ප්‍රතිලාභයක් අත්වන බව තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා පෙන්වා දුන්නේය.

මීට සමගාමීව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහලේකම් ෂිහාම් මරික්කාර් මැතිතුමා සම්බන්ධ කර ගනිමින් සිල්ලර ව්‍යාපාර සහ අතිසුපිරි වෙළඳසැල් ඇතුළු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්/නියෝජිතයින් මෙන්ම ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මාධ්‍යවේදීන් ගණනාවක් සමඟ එක්ව ව්‍යාපාරික හමුවීම් මාලාවක් ද සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 ජනවාරි 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close