විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දකුණු කොරියාව සඳහා යෝජනා කරන ලද  විශේෂ ආයෝජන කලාපය

 විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා දකුණු කොරියාව සඳහා යෝජනා කරන ලද  විශේෂ ආයෝජන කලාපය

 

කොරියානු ජනරජයේ සෝල් නුවර දී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය චුන්ග් යුයි- යොන්ග් මැතිතුමා අතර පැවති හමුව අතරතුර දී වෙළෙඳාම සහ ආයෝජනය, දේශපාලන සහයෝගීතාව, ආරක්ෂක මුලපිරීම්, සංචාරක කර්මාන්තය සහ කම්කරු ගැටලු යනාදිය ප්‍රමුඛ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.

වසර 44ක් මුළුල්ලේ පැවති සබඳතාව ඔස්සේ දෙරට අතර ගොඩනැගුණු බහුවිධ සබඳතාව සහ වර්තමානයේ දී එහි දැකිය හැකි ශක්තිමත් ස්වභාවය සම්බන්ධයෙන් අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා සිය ප්‍රශංසාව පළ කළේ ය.

2018 වර්ෂයේ ජූනි මස කොළඹ පැවති ඒකාබද්ධ ආර්ථික හා වෙළඳ කොමිසමේ පළමු රැස්වීම පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. වැදගත් කරුණු ගණනාවක ප්‍රගතිය උදෙසා මීළඟ රැස්වීම නුදුරු දිනයක දී පැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අමාත්‍යවරුන් දෙදෙනා සිය එකඟත්වය පළ කළහ.

දෙරට අතර පවත්නා වෙළඳ ශේෂය සැලකිය යුතු ලෙස දකුණු කොරියාවට වාසිදායක වන තත්ත්වයක් යටතේ පවතී. ශ්‍රී ලංකාවෙන් කොරියානු ජනරජය වෙත සිදු කෙරෙන අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 71 ක ආසන්න වටිනාකමකින් යුක්ත වන අතර, කොරියානු ජනරජය වෙතින් ශ්‍රී ලංකාවට සිදු කෙරෙන ආනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 192 ක් පමණ වේ. රස කළ තේ වැනි අගය එකතු කරන ලද නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම රේගු බදු ඇතුළුව විශේෂිත වෙළඳ බාධක කිහිපයක් ඉවත් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද ගවේෂණය කිරීමට අමාත්‍යවරු සිය එකඟත්වය පළ කළහ.

කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය පීරිස් මැතිතුමා යොමු කළ ඉල්ලීමට අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මැතිතුමා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වී ය. විශේෂයෙන්ම ජල සම්පත් කළමනාකරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ද්විතීයික අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දකුණු කොරියානු සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති වාසිදායක බලපෑම අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන ලදී. ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ නිෂ්පාදනය යනාදී ක්ෂේත්‍රවල ඉහළ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීමට දකුණු කොරියානු පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්නා බව කොරියානුු ජනරජයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මීට පෙර දකුණු කොරියානු ජනරජයේ ව්‍යවසායකයන් සඳහා ශ්‍රී ලංකාව තුළ විශේෂ ආයෝජන කලාපයක් පැවති බව පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. කොරියානු ව්‍යාපාරික සංගමය (KBA) එකල ශ්‍රී ලංකාව තුළ ඉතා ක්‍රියාකාරීව කටයුතු කොට ඇත. මෙම මුලපිරීම නැවත පණ ගැන්වීම පිළිබඳව සලකා බැලීම කාලෝචිත බව අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ අතර, ඒ සඳහා කටයුතු කිරීමට ද අධිෂ්ඨාන කර ගත්හ.

කොරියානු ජනරජය මගින් නාවික යාත්‍රා දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා යළි අවධාරණය කළේ ය.

සංචාරක ව්‍යාපාරය ගත් කල, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය ආරම්භ වීමට පෙර කොරියානු ජනරජයේ සිට සංචාරකයින් 12,500 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කොළඹ සහ සෝල් අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බැවින්, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක අංශය තුළ දකුණු කොරියානු ආයෝජන ඉහළ නැංවීම සඳහාත් කොරියානු ජනරජයේ විදේශ අමාත්‍යවරයා එකඟ විය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා කොරියානු ජනරජය වෙතින් ලැබුණු නොමසුරු සහය පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේ ය. වැඩිදුර ආධාර සඳහා උපකාර ද සහිතව, ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක් වටිනා උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත දැනටමත් ලැබී ඇත. කොරියානු ජනරජයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 22,000 දෙනෙකුට එන්නත් ලබා දීම  වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කොරියානු ජනරජයේ සහය ඉල්ලා සිටියේ ය.

විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර වේදිකාවල සහයෝගිතාව පිළිබඳව ද පුළුල් සාකච්ඡා පැවැත්වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 ජනවාරි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close