ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා-ඕමාන හොකී තරගාවලිය සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහභාගී වේ

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා-ඕමාන හොකී තරගාවලිය සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහභාගී වේ

ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන හොකී ආයතනය (OHA) සමඟ එක්ව, ක්‍රීඩා සමාජ මට්ටමෙන් ප්‍රථම වරට  සංවිධානය කරන ලද  ශ්‍රී ලංකා - ඕමාන හොකී තරගාවලියේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ කලාපීය  සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ඕමාන සුල්තාන් රාජ්‍යයේ සංස්කෘතික, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශයේ උප ලේකම් බැසිල් අහමඩ් අල් රාවස් මහතා ඕමාන පාර්ශ්වය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි විය.

2021 දෙසැම්බර් 28 සහ 29 යන දිනවල මස්කට් නුවර බවුෂර් හි සුල්තාන් කබූස් ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි හොකී පිටියේ දී පවත්වන ලද මෙම හොකී තරගාවලිය ඕමානයේ සංස්කෘතික, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සහ ඕමාන හොකී සංගමයේ සත්කාරකත්වය යටතේ සංවිධානය කෙරිණි. ඕමාන හොකී සංගමයේ සභාපති ආචාර්ය මාවන් අල් ජුමා මහතා, ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතා, ඕමාන - ශ්‍රී ලංකා හොකී කමිටුවේ සභාපති තිවංක විජේරත්න මහතා , ඕමාන හොකී සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ දෙරටේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් 2021 දෙසැම්බර් 28 වැනි දින මෙම තරගාවලිය ආරම්භ කරන ලදී.

දෙදිනක් පුරා පැවති මෙම තරගාවලියේ දී ඩිෆෙන්ස් වොරියර්ස් හොකී සමාජය සහ ශ්‍රී ලංකාවේ කොළඹ හොකී සහ පාපන්දු සමාජය යන ක්‍රීඩා සමාජ අහ්ලි සිදාබ් සමාජය සහ ඕමානයේ සෝහාර් සමාජය සමඟ ක්‍රීඩා කළහ. 40 වැනි සංවත්සර ශූරතා කුසලානයේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඩිෆෙන්ස් වොරියර්ස් හොකී සමාජයට හැකි විය.

ඕමානය සත්කාරකත්වය ලබා දුන් T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සමාරම්භක උත්සවය සඳහා 2021 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අවස්ථාවේ දී  ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ප්‍රථම වරට ක්‍රීඩා  සමාජ මට්ටමේ හොකී තරගාවලියක් පැවැත්වීම සඳහා යෝජනා කෙරිණි.

මෙම සංචාරය අතරතුර දී රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (OCCI) සහ ඕමාන පෞද්ගලික අංශයේ නිලධාරීන් හමු වූ අතර, එහිදී එතුමා ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ආර්ථිකය සම්බන්ධයෙන් පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 ජනවාරි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close