සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ප්‍රමුඛපෙළේ චීන සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතායතන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇත

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව ප්‍රමුඛපෙළේ චීන සංචාරක ක්‍රියාකරුවන් සහ නියෝජිතායතන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ කෙරෙහි සිය අවධානය යොමු කරනු ඇත

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ එක්ව 2021දෙසැම්බර්30 වැනි දින නගර ශාලාවක පැවැත්වූ රැස්වීමක් හරහා චීනයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින නියෝජිතයින් පිරිසක් හමුවිය. සංචාරක ක්‍රියාකරුවන්, ප්‍රමුඛ පෙළේ සංචාරක ආයතන සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත අමුත්තන් 60 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලංකාව පිරිනමන සුවිශේෂී අත්දැකීම් පිළිබඳව විස්තර කළේය. යොවුන් වියේ පසුවන සංචාරකයන් මහත් උනන්දුවක් දක්වන දේශීය වෛද්‍යවිද්‍යාව, ත්‍රාසජනක ක්‍රියාකාරකම්, ඔරුපැදීම, දිය මත ලිස්සා යාම, සරුංගල් යැවීම, කඳුනැගීම, බැලූන් ක්‍රීඩාව,තල්මසුන් නැරඹීම, අලි ඇතුන්මත ගමන් කිරීම සහ සෆාරි යනාදී ශ්‍රීලංකාව සතු සාම්ප්‍රදායික නොවන ආකර්ෂණීය අත්දැකීම් පිළිබඳව අවධාරණය කළේය. වසර මුළුල්ලේ දැකගත හැකි සශ්‍රීක හරිත වැස්මක් සහ උණුසුම් කාලගුණයක් ශ්‍රී ලංකාව සතුව පවතී.

චීන දේශසීමා සම්බන්ධයෙන් පවත්නා සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව චීන සංචාරකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි එතුමා අපේක්ෂා කළේය. දෙරට අතර පවත්නා ගුවන් සම්බන්ධකතාව වැඩිදියුණු කිරීම   සඳහා තානාපති කාර්යාලය චීන ගුවන් සමාගම් කිහිපයක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භකර ඇති බවද එතුමා සඳහන් කළේය. ඉදිරි දිනකදී ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් සියලුම දෙනා හමුවීම එතුමාගේ අපේක්ෂාව වේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමණාකරු වන චින්තක වීරසිංහ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පිරිනමනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ගුවන් ගමන් සේවා පිළිබඳව රැස්ව සිටිපිරිස දැනුම්වත් කළේය. ගුවන් ගමන් සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුම අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම චීනය වෙත සිය ගුවන් ගමන් වාර ගණන වැඩිකරන බවද එතුමා ප්‍රකාශ කළේය.

මෙම උත්සවය අතරතුර දී ස්ප්‍රිංට්‍රැවල් ආයතනය ඇතුළු අනෙකුත් සංචාරක නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව තමන් සතු අත්දැකීම් හුවමාරු කරගත්හ. නිල උත්සවය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කෙරිණි.

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමණාකරු වන චින්තක වීරසිංහ මහතා සහභාගීවූ පිරිස යොමු කළ ප්‍රශ්න රැසකට පිළිතුරු සැපයූහ.

ප්‍රමුඛ පෙළේ චීන කලාකරුවෙකු සංගීත භාණ්ඩ වාදනය කරමින් සිදු කළ රසවින්ඳනාත්මක අංගයක් ආරාධිත පිරිස වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි.

මෙම උත්සවය දිනුම් ඇදීමේ අංගයකින් නිම කෙරුණු අතර ඉන් ජය හිමි කර ගත් ජයග්‍රාහකයාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් නොමිලේ හිමි විය.

මෙම අවස්ථාව සඳහා දේශීය ග්‍රීක අවන්හලක් මගින් ආහාරපාන සපයන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 ජනවාරි 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close