දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිදු කළ සංචාරය

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සමඟ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිදු කළ සංචාරය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්. ඩී. ජේ. අබේගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ගයා කාංචන මහතා ඇතුළුව  දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ නායකත්වයෙන් සුසැදි නියෝජිත පිරිස සමඟ 2021 දෙසැම්බර් 16-18 යන දිනවල ශාන්ත පීටර්ස්බර්ග් නුවර තුළ නිල සංචාරයක නිරත විය.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ශාන්ත පීටර්ස්බර්ග් හි නියෝජිත කාර්යාලයේ ප්‍රධානී එච්. ඊ. සපෙවලොව් මහතා සමඟ පැවැත්වූ හමුවක් ද මෙම වැඩසටහනට ඇතුළත් විය.  මෙම හමුව අතරතුර දී අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, වෙළඳාම සහ ආර්ථිකය, සංචාරක ව්‍යාපාරය, තේ යනාදිය සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම, ශාන්ත පීටර්ස්බර්ග් හි ශ්‍රී ලංකා වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම, ශාන්ත පීටර්ස්බර්ග් හි ආයුර්වේද සුවතා මධ්‍යස්ථාන විවෘත කිරීම සහ ශාන්ත පීටර්ස්බර්ග් සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ආදිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා පැවැත්වූහ.

මෙම නියෝජිත පිරිස ශාන්ත පීටර්ස්බර්ග් හි විදේශ සබඳතා, ජන මාධ්‍ය, මහජන සෞඛ්‍ය සේවය, සංචාරක ව්‍යපාර සංවර්ධනය, අධ්‍යාපනය යනාදී කමිටුවල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් ඇතුළු ශාන්ත පීටර්ස්බර්ග් රජයේ නියෝජිතයන් සමඟ ද හමුවක් පැවැත්වී ය. මෙම හමුව අතරතුර දී දෙපාර්ශ්වයම ශාන්ත පීටර්ස්බර්ග් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශාන්ත පීටර්ස්බර්ග් සහ කොළඹ යන නගර අතර සහෝදර සබඳතා ශක්තිමත් කිරීම, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, තේ, අධ්‍යාපනය, ශරීර සුවතාව, සංස්කෘතිය යනාදී ක්ෂේත්‍ර නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීම මෙන්ම, ශ්‍රී ලංකාවේ ආයුර්වේද ශිල්පය සහ දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සහ ශාන්ත පීටර්ස්බර්ග් සිට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සහ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡා පැවැත්වූහ.

ශාන්ත පීටර්ස්බර්ග් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය උත්සවාකාරයෙන් විවෘත කිරීම මෙම සංචාරයේ සුවිශේෂී අංගයක් විය. මෙම උත්සව අවස්ථාව සඳහා රුසියාවේ නාගරික රජයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී විය. නිර්වේතනික කොන්සල් වග්‍රම් සකර්යන් මහතා මෙම සංචාරයේ සෑම අදියරකදීම දූත පිරිස සමඟ සම්බන්ධ වූ අතර, දූත පිරිසට සිය උපරිම සහයෝගය ද ලබා දුන්නේ ය.

රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ශාන්ත පීටර්ස්බර්ග් ශාඛාවේ සභාපතිනි ඇනා බොයිකෝවා මහත්මිය සහ රුබින් වෙළඳ මධ්‍යස්ථානයේ සහ කෞතුකාගාරයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් චුඩොක් මහතාගේ නියෝජනයෙන් යුක්ත රුබින් වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ශාන්ත පීටර්ස්බර්ග් ශාඛාව තුළ සංචාරයක නිරත වීම මෙම වැඩසටහනේ තවත් එක් අංගයක් විය. මෙහිදී ආයුර්වේදය, තේ ප්‍රවර්ධනය සහ ආනයනය මෙන්ම අනෙකුත් කරුණු පිළිබඳව ද සාකච්ඡා පවත්වන ලදී.

නියෝජිත පිරිස මෙම සංචාරය අතරතුර දී ශාන්ත පීටර්ස්බර්ග් දිස්ත්‍රික්කයේ පිහිටි ඔර්තඩොක්ස් දේවස්ථානයේ ප්‍රධාන පූජාප්‍රසාදීවරයා හමුවී ශාරීරික හා මානසික සුවතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 දෙසැම්බර් 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close