බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීය ප්‍රජාවේ සාමාජිකයින් සහ චීන ජාතික මිත්‍ර ප්‍රජාව සමඟ නත්තල සමරයි

බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීය ප්‍රජාවේ සාමාජිකයින් සහ චීන ජාතික මිත්‍ර ප්‍රජාව සමඟ නත්තල සමරයි

2021 දෙසැම්බර් මස 25 වන දින බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නත්තල් උත්සවයක් සංවිධානය කෙරුණු අතර ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්, චීන ජාතික මිත්‍ර ප්‍රජාව, මාධ්‍ය ආයතනවල සාමාජිකයින් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ඇතුළුව 100කට අධික ආරාධිතයින් පිරිසක් ඊට සහභාගි විය.

ආරක්‍ෂක අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් සිල්වෙස්ටර් පෙරේරා මහතාගේ සමාරම්භක යාඥාවෙන් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, අතිගරු තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමාගේ පිළිගැනීමේ කතාව ඉන් අනතුරුව පැවැත්විණි. නත්තල සැමරීම තුළින් සාමය, ආදරය, බලාපොරොත්තුව සහ සහජීවනය ඉස්මතු වන බව තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. කොවිඩ්-19 වසංගතය ආර්ථිකයේ ප්‍රමාණය සහ ජනගහනය නොසලකා සියල්ලන්ටම බලපා ඇත. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව කොවිඩ්-19 හේතුවෙන් දැඩි ආර්ථික අභියෝගවලට මුහුණ දෙමින් සිටී. අප මින් පෙර සිදු කළාක් මෙන් මෙම අභියෝග ජය ගැනීම සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන් එකමුතු විය යුතු කාලය දැන් එළඹ ඇති බවත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ චීනය වෙත අපනයන නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා තානාපති කාර්යාලය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාව තම ප්‍රියතම ගමනාන්තය වශයෙන් සලකන ලෙස එතුමා ආයෝජකයින්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටි අතර චීනයේ සංචරණ සීමාවන් ලිහිල් කළ වහාම චීන ජාතික මිත්‍ර ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි එතුමා අපේක්ෂා කරන බව පැවසීය.

තානාපති කාර්යාලයේ දීප්තිමත් විදුලි පහන් ශීතල පරිසරය සමඟ මුසු ව උත්සවශ්‍රීයෙන් පිරි නත්තල් වාතාවරණයක් සහ හැඟීමක් විහිද වූ අතර තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් මෙම අවස්ථාවේ දී නත්තල් කැරොල් ගීත ගායනා කරන ලදී.

නත්තල් සීයා විසින් දරුදැරියන් වෙත තෑගිබෝග ලබාදීම මෙම උත්සව අවස්ථාව වඩාත් තීව්‍ර කළ අතර සහභාගී වූ සියලුම අමුත්තන් වෙනුවෙන් ශ්‍රී ලාංකීය රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව මෙම වැඩසටහන නිමාවට පත් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 දෙසැම්බර් 30 වන දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close