එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පැවැත්වූ ‘නත්තලේ රිද්මය’ නත්තල් සැමරුම් උත්සවය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පැවැත්වූ ‘නත්තලේ රිද්මය’ නත්තල් සැමරුම් උත්සවය

2021 දෙසැම්බර් මස 22 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී නත්තල් යාඥාවන්, කැරොල් ගීත සහ විනෝදාස්වාදයෙන් සමන්විත සන්ධ්‍යා උත්සවයක් සමඟින් නත්තල් උත්සවය සැමරිණි.

දකුණු අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ඕමාන අපෝස්තලික දේවසභාවේ භාරකාරීත්වය දරන ගරු නායගම් රෝයි ක්ලැරන්ස් දේවගැති පියතුමාගේ දේව මෙහෙයකින් වැඩසටහන ආරම්භ විය. ආගමික වත්පිළිවෙත්වලින් අනතුරු ව රෝයි ක්ලැරන්ස් දේවගැති පියතුමා විසින් සාමයේ, සහජීවනයේ සහ සාමූහිකත්වයේ ආධ්‍යාත්මික ගුණ‍යන්ගෙන් සැමදෙනාම එකමුතු කිරීම සඳහා නත්තලේ ඇති වැදගත්කම අවධාරණය කරමින් නත්තල් පණිවුඩය ප්‍රකාශ කරන ලදී.  තවද, කොවිඩ්-19 නිසා ඇති වූ දුෂ්කරතා නොතකමින් නත්තල සැමරීම සඳහා ප්‍රජාව ඒකරාශී කරමින් යහපත් වාතාවරණයක් සහිතව මෙවන් සැඳෑ උත්සවයක් සංවිධානය කිරීමට දැරූ ප්‍රයත්න වෙනුවෙන් එතුමා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මහතා ඇතුළු තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය වෙත සිය කෘතඥතාව පළ කරනු ලැබීය.

ආරම්භක දේශනය ඉදිරිපත් කරමින් තානාපති මල්රාජ් සිල්වා මහතා උත්සවය සඳහා සහභාගී වූ පිරිස මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත නත්තල් සහ අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළේය. තවද, විදේශයකදී පවා ශ්‍රී ලංකාවේ අනර්ඝ සංස්කෘතික සිරිත් විරිත් ප්‍රදර්ශනය කරන මෙවන් උත්සවයක දී තරුණ පරම්පරාව විසින් නත්තල් කැරොල් ගීත ගායනා කිරීමේ වැදගත්කම පිළිබඳව එතුමා අවධාරණය කළේය. තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ නත්තල් කැරොල් ගීත ගායනයන් එදින සහභාගිවූවන් හට විනෝදාස්වාදය ලබා දුන්නේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින කොවිඩ්-19 මාර්ගෝපදේශවලට අනුකූලව සීමිත ශ්‍රී ලාංකිකයින් පිරිසකට මෙම අවස්ථාව සඳහා ආරාධනා කරනු ලැබූ අතර උත්සවය අවසානයේ දී සියලුම අමුත්තන් හට ශ්‍රී ලාංකීය ආහාරපාන වර්ග පිරිනමන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2021 දෙසැම්බර් 30

Print Friendly, PDF & Email
Please follow and like us:

Close