තානාපති රිස්වි හසන් මැතිතුමා යුක්රේනයේ ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

තානාපති රිස්වි හසන් මැතිතුමා යුක්රේනයේ ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි

යුක්රේනය සඳහා අක්ත ගන්වන ලද ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා 2021 දෙසැම්බර් 9 වැනි දින කිව් හි පිහිටි මැරින්ස්කි මාළිගයේ පැවති උත්සවයක දී යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය.

තානාපතිවරයා මෙම උත්සවය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුබපැතුම් යුක්රේන ජනාධිපතිවරයා වෙත පිරිනැමීය. COP26 දේශගුණික සමුළුවට සමගාමීව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සමඟ මෑතක දී පවත්වන ලද හමුව පිළිබඳව ජනාධිපති සෙලෙන්ස්කි මැතිතුමා සිය දේශනය අතරතුර දී සිහිපත් කළේය. ශ‍්‍රී ලංකාව සහ යුක්රේනය අතර ක්‍රියාත්මක කිරීමට නියමිත ගිවිසුම්වලට අත්සන් තැබීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපති සෙලෙන්ස්කි මැතිතුමා අවධාරණය කළේය. (ආයෝජන ප‍්‍රවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම, ද්විත්ත්ව බදු අයකිරීම වැළැක්වීමේ ගිවිසුම සහ ආදායම මත පනවා ඇති බදු සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම වැළැක්වීමේ ගිවිසුම සහ වෙළඳාම හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ අන්තර්-රාජ්‍ය ඒකාබද්ධ කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ගිවිසුම).

තානාපතිවරයා යුක්රේනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සෙනික් ඩ්මිට්‍රෝ මැතිතුමා, යුක්රේනයේ රාජ්‍ය සංක්‍රමණ සේවයේ සභාපතිනි නටාලියා නෝමෙන්කෝ මහත්මිය, විදේශ ප්‍රතිපත්ති සහ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව පිළිබඳ කමිටුවේ සභාපති ඔලෙක්සැන්ඩර් මෙරෙස්කෝ මැතිතුමා සහ රාජ්‍ය දේශ සීමා ආරක්ෂක සේවයේ නිලධාරීන් සමඟ, ශ්‍රී ලංකාව සහ යුක්රේනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

ස්කයිඅප් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩ්මිට්‍රෝ සෙරෝකොව් මහතා හමුවූ තානාපතිවරයා 2021 දෙසැම්බර් 27 වැනි දින යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට නියමිත ස්කයිඅප් ගුවන් සමාගමේ වරලත් ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කළේය. සතියකට දෙවරක් බැගින් ස්කයිඅප් ගුවන් සමාගමේ වරලත් ගුවන්යානා ශ්‍රී ලංකාව වෙත ගමන් කිරීමට නියමිතය.

තවද ශ්‍රී ලංකාව සහ කිව් හි අනෙකුත් ආසියානු ගමනාන්ත සමඟ ගනුදෙනු කරන සංචාරක නියෝජිතයන් සහ බාහිර සංචාරක ක්‍රියාකරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් පැවැත්වූ  තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ මෑතක දී ලිහිල් කරන ලද සංචාරක සීමා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා සපයා ඇති පහසුකම් පිළිබඳව එම පිරිස දැනුම්වත් කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 දෙසැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close