ගුවැන්ෂු ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේ දී චීන නරඹන්නන් ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට උනන්දු වෙයි

ගුවැන්ෂු ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේ දී චීන නරඹන්නන් ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට උනන්දු වෙයි

ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ගුවන්ග්දොන් සීනරි ජාත්‍යන්තර සංචාරක නියෝජිතායතනය සමඟ එක්ව 2021 දෙසැම්බර් මස 4 සිට 6 වන දින දක්වා පැවැත්වුණු වාර්ෂික ගුවැන්ෂු ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය (GITF) සඳහා සහභාගී විය.

මෙහි දී කොන්සල් කාර්යාලය මඟින් ‘ශ්‍රී ලංකා’ ප්‍රදර්ශන කුටිය නිර්මාණය කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක ආකර්ෂණීය ස්ථාන, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික ස්ථාන පිළිබඳව ඉස්මතු කරමින් ලාංකීය අත්කම් භාණ්ඩවල දර්ශනීය ඡායාරූප ප්‍රදර්ශනය කෙරිණි. මෙම ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා‍ව කෙරෙහි අමන්දානන්දයට පත් වූ නරඹන්නන් චීන රජය පනවා ඇති සංචාරක සීමාවන් ලිහිලි කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් යුතු ව ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන, සංචාරක ක්‍රියා පටිපාටි සහ රටේ වර්තමාන කොවිඩ්-19 තත්ත්වය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශන කුටිය වෙතින් විමසා සිටියේය.

මෙම ප්‍රදර්ශනය අභ්‍යන්තර සහ බාහිර සංචාර කෙරෙහි අවධානය යොමු කරමින්  සංචාරක නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය සහ ප්‍රවර්ධනය කරමින් දකුණු චීනයේ පවත්වනු ලබන වැදගත් ම අන්තර් ව්‍යාපාරික (B2B) සහ ව්‍යාපාරික-පාරිභෝගික (B2C) සංචාරක ප්‍රදර්ශන වලින් එකකි. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නියෝජිතයින්ට පහසුකම් සලසන කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) හරහා වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙයි. පසුගිය වසරවල දී ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනයේ ‘වඩාත් ආකර්ශනීය’ මෙන් ම ‘ජනප්‍රියම’ සංචාරක ගමනාන්තය ලෙස සම්මානයන්ට පාත්‍ර වූ අතර 2019 වර්ෂයේ දී අමාත්‍ය නියෝජනයක් සමඟ ‘ආරාධිත රට’ ලෙස සහභාගී වීමට ද අවස්ථාව හිමිවිය.

මෙම වසරේ දී සංචාරක කර්මාන්තයට සම්බන්ධ දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් 123 දෙනෙකුට සත්කාරකත්වය ලබා දෙමින් 10,000 කට අධික නරඹන්නන් පිරිසක් මෙම ප්‍රදර්ශනයට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ගුවැන්ෂු

2021 දෙසැම්බර් 13 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close