ලංකා තේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් නුවර තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘තේ භාවනාව’ නමැති සුවිශේෂී වැඩසටහන සඳහා සත්කාරකත්වය ලබා දෙයි

ලංකා තේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් නුවර තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘තේ භාවනාව’ නමැති සුවිශේෂී වැඩසටහන සඳහා සත්කාරකත්වය ලබා දෙයි

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි විශාලතම සාප්පු හා විනෝද සංකීර්ණයක් වන සුප්‍රකට මල්ටි බ්‍රෑන්ඩ් මයිසෙයිල් වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රොනෆෙල්ඩ් තේ අවන්හලේ දී “තේ භාවනාව” නමැති සුවිශේෂී වැඩසටහන පවත්වා ‘ලංකා තේ’ ප්‍රදර්ශනය කර අළෙවි කළේය. ෆ්‍රෑන්ක්ෆර්ට් හි මෙම වාණිජ මධ්‍යස්ථානය නත්තල් සමය හේතුවෙන් පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ හෙයින් මෙම වැඩසටහන පවත්වන ලද්දේ වඩාත් යෝග්‍ය මොහොතකදීය. ශ්‍රී ලංකාවේ සාරවත් තේ කලාව, ලංකා තේ මගින් ශරීර සෞඛ්‍ය සඳහා අත්වන වාසි, තේවල විවිධ රස, තේ සැකසුම් කලාවේ ශිල්පීය ක්‍රම සහ ලංකා තේ ඉදිරිපත් කිරීමේ ක්‍රම ආදිය පිළිබඳව මෙම වැඩසටහනට සහභාගි වූ පිරිස දැනුම්වත් කිරීමට කොන්සල් ජනරාල් කාර්යාලයට හැකි විය.

වසංගත තත්ත්වය හමුවේ ජර්මනිය තුළ පනවා ඇති සීමාවලට අනුගත වෙමින් පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් මාධ්‍ය නියෝජිතයින්, ගුවන් සේවා නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් ආදී වශයෙන් තෝරාගත් පිරිසක් සඳහා ලංකා තේ ප්‍රභේද රැසක් පිරිනමන ලදි.

‘තේ භාවනාව’ නමැති මෙම වැඩසටහනට සහභාගී වූ පිරිසට ලොව හොඳම තේ නිපදවීමේ අරමුණින් ඉතා සුපරීක්ෂාකාරීව වගා කරනු ලබන තේ දළුවලින් ගහණ ශ්‍රී ලංකාවේ තේ වතු ඔස්සේ භාවාත්මක චාරිකාවක නිරතවීම සඳහා අවස්ථාව උදා විය.

ඉන් අනතුරුව තේවල අන්තර්ගත සියුම් ගුණ සහ ඒවායේ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිත්ඇදගන්නාසුළු දර්ශනවලින් සමන්විත සුවිසල් තේ වතු නැරඹිය හැකි විශිෂ්ටතම ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කළ ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් මධුරිකා ජෝසප් වෙනින්ගර් මහත්මිය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ හතකින් ලබා ගන්නා ලංකා තේවල පවත්නා සුවිශේෂී රස, සුවඳ සහ මාදිලි යනාදිය පැමිණ සිටි පිරිස වෙත හඳුන්වා දුන්නාය.  සහභාගී වූ පිරිස සඳහා ලංකා තේ අඩංගු තේ පැකැට්ටු, සංචාරක සිහිවටන සහ පොත් පිංචක් පිරිනමන ලදි.

තේවල රස පරීක්ෂා කිරීමේ කටයුතු මෙහෙයවූ රොනෆෙල්ඩ් තේ අවන්හලේ කළමනාකාරවරිය වන ජුටා ටාර්ලන් මහත්මිය ලංකා තේ සතු උසස් ප්‍රමිතිය පිළිබඳව සඳහන් කළ අතර ඔවුන් අළෙවි කරන තේවල පවත්නා ගුණාත්මකභාවය සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන ආකාරය පිළිබඳව අදහස් පළ කළා ය. " හොඳම තේ නිපදවන රටවල් පමණක් අප තෝරා ගන්නා අතර අපගේ ඉහළ අවශ්‍යතාවලට සරිලන පරිදි එම තේ නිරන්තර තත්ත්ව පරීක්ෂාවට ලක් කරන්නෙමු," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රධාන නගර කිහිපයක පිහිටා ඇති ඉහළ පෙළේ හෝටල්, වෙළඳසැල් සහ තේ අවන්හල් සඳහා තේ සපයන ලොව ප්‍රමුඛ පෙළේ සාම්ප්‍රදායික තේ සමාගමක් වන රොනෆෙල්ඩ් සමාගම සතුව දීර්ඝ ඉතිහාසයක් ඇත. මීට අමතරව අනාගත තේ වෘත්තිකයන්ට තේ කර්මාන්තය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමෙ සඳහා රොනෆෙල්ඩ් තේ ඇකඩමිය විසින් අවස්ථාව සලසා දෙනු ලැබේ. ඔවුන්ගේ ස්වර්ණමය පුහුණු වැඩසටහන තුළ ශ්‍රී ලංකාවේ තේ වතු කිහිපයක සංචාරයක නිරතවීම පවා ඇතුළත් කොට ඇත.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන්

2021 දෙසැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close