මහාචාර්ය පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා සමඟ බලශක්තිය, ආරක්ෂාව සහ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

මහාචාර්ය පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා සමඟ බලශක්තිය, ආරක්ෂාව සහ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා පවත්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුව (IOC 2021) අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විදේශ සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයෙඩ් අල් නහ්යන් හමුවිය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සාදරයෙන් පිළිගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා දශක ගණනාවක් මුළුල්ලේ දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතා පිළිබඳව සිහිපත් කළේය.

2021 දෙසැම්බර් 02 වැනි දිනට යෙදුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වෙත සිය සුබ පැතුම් එක් කළේය. දෙරට අතර පැවැත්විය හැකි ඉහළ පෙළේ සංචාර මගින් මිත්‍රශීලී සබඳතා වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා ලබන වසරේ දී ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වීමට තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය. අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා මැතිතුමාට ශ්‍රී ලංකාව තුළදී ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවනු ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා සඳහන් කළේය.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් රට තුළ පවතින තත්ත්වය සහ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගනු ලබන සාර්ථක ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය   මහාචාර්ය පීරිස් මැතිතුමා විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේය. බහුපාර්ශ්වික සංසදවල දී සහ විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය ශ්‍රී ලංකාව නිරන්තරයෙන් අගය කරන බව පැවසූ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ශක්තිමත් දේශීය යාන්ත්‍රණයන් තුළින් ප්‍රබල ලෙස ඉදිරියට ගමන් ගන්නා මොහොතක දී ශ්‍රී ලංකාව කිසිදු ආක්‍රමණශීලී බාහිර යාන්ත්‍රණයක් පිළිනොගන්නා බව අවධාරණය කළේය.

බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ සහයෝගීතාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ වාණිජ ව්‍යාපාර තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන පරිමාව වැඩි කිරීම යනාදී මාතෘකා මෙම විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගේ සාකච්ඡාවට බඳුන් වූ අනෙකුත් මාතෘකා අතර විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close