ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

 ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද අභිනව ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2021 නොවැම්බර් 30 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

නව ජපාන තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් විදේශ අමාත්‍යවරයා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝ කාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සිහිපත් කළේ ය. කොළඹ සැලැස්ම යටතේ 1951 වසරේ සිට ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ජපානය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දුන් පුළුල් සහයෝගය සහ පුහුණු අවස්ථාවන් පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ ය. එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධුරය දැරූ දිවංගත ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මැතිතුමා සැන් ෆ්‍රැන්සින්කෝ සාම සමුළුවේ දී සිදු කළ ඓතිහාසික දේශනයෙන් අනතුරුව, ජපාන රජය සහ එහි ජනතාව ශ්‍රී ලංකාව වෙත සිය සහයෝගිතාව පළ කිරීම සඳහා මහඟු ලෙස උපකාර කොට ඇත. දෙරට අතර පවත්නා දිර්ඝ කාලීන මිත්‍රත්වය හුවා දක්වන ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජපානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමූ සුවිශේෂී තිළිණ අතරින් එකකි.

පජන් අරමුදල් සමඟින් මෑත කාලයේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද “බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය”, “අනුරාධපුර ජල සම්පාදන ව්‍යාපෘතිය” සහ “මහනුවර නගරයේ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය” වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පජානය වෙත සිය කෘතඥතාව පළ කළේ ය. තවද, ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය ඩිජිටල්කරණය කිරීම තුළින් විශාල වටිනාකමක් හිමි වනු ඇතැයි විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජපාන රජය සෑම විටම ශ්‍රී ලාංකික ජනතාවගේ සැබෑ අවශ්‍යතා කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. තමන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී ජපාන රජය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා අවශ්‍ය වූ  සම්පත් පරිත්‍යාග කළ බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට සිය තොරතුරු තාක්ෂණ කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා අගනා අවස්ථාවක් උදා වූ බවත් විදේශ අමාත්‍යවරයා සිහිපත් කළේ ය. ජපන් භාෂාව මෙරට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය විදේශීය භාෂාවක් බවට පත්ව ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, තරුණ පරපුර අතර තොරතුරු තාක්ෂණය සහ ජපන් භාෂා කුසලතා යන දෙඅංශයම වැඩිදියුණු කිරීම සඳහා ජපන් රජය දක්වන දායකත්වය ද අගය කළේ ය.

ශ්‍රී ලංකාව සඳහා වූ ජපානයේ  විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මහතා ශ්‍රී ලංකාව තුළ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට ලබා දුන් දායකත්වය අමාත්‍යවරයා අගය කළේ ය.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ සුබපැතුම් පිරිනැමූ තානාපතිවරයා,  ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජපාන රජය තුළ ඇති උනන්දුව පිළිබඳව ප්‍රකාශ කළේ ය.

තවද, ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය 2022 වසරේ දී සැමරීමට නියමිත බවත්, එම සංවත්සරය සැමරීම සඳහා ජපාන රජය ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කරන බවත් එතුමා පැවසී ය. දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරයට සහභාගී වීම සඳහා  ජපානයේ සංචාරයක නිරත වන  ලෙස තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඇරයුම් කළේ ය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 03 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close