ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ බුරෙයිමි හි පිහිටි සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ බුරෙයිමි හි පිහිටි සාරා ක්ෂේම භූමිය තුළ ශ්‍රී ලංකාවේ පලතුරු පැළයක් රෝපණය කරයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඔමර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා 2021 නොවැම්බර් 21-22 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි අල් බුරෙයිමි ආණ්ඩුකාර බල ප්‍රදේශය තුළ දෙදින නිල සංචාරයක නිරත විය. එතුමා අල් බුරෙයිමි හි ආණ්ඩුකාරවරයා වන සයිඩ් ආචාර්ය හමාඩ් බින් අහමඩ් බින් සෞද් අල් බුසයිඩි මැතිතුමා හමුවී ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙම වසරේ යෙදෙන  ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කරන ලද සමරු ලාංඡනයක් ද පිළිගැන්වී ය.

මෙම සංචාරය අතරතුර දී, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා අල් බුරෙයිමි හි වාලිවරයා වන ෂෙයික් ආචාර්ය හිලාල් බින් අලි අල් හබ්සි මැතිතුමා සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ රෝපණය කෙරුණු ලාවුළු (canistel fruit) පැළයක් අල් බුරෙයිමි ප්‍රදේශයේ පිහිටා ඇති වසර 3,000ක් ඉපැරණි ෆලාජ් අල් සරානි වාරි පද්ධතිය වෙතින් ජලය ගෙන එන සම්ප්‍රදායික වාරිමාර්ග පද්ධතියක් (ෆලාජ්) වන සාරා ක්ෂේම භූමිය තුළ රෝපණය කළේ ය. ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවෙන් ගෙන එනු ලැබූ මෙම පලතුරු පැළය ඕමානයේ මෙම ඓතිහාසික ක්ෂේම භූමිය තුළ රෝපණය කොට ඇත.  ෆලාජ් අල් සාරනි ඉන්ජිනියරින් හි කළමනාකරු වන ටලීබ් අහමඩ් අල් ජබ්‍රි මහතා ද  මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.

ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අල් බුරෙයිමි ශාඛාවේ සාමාජිකයින් ඇමතූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, දෙරටේ ජාතික මණ්ඩල අතර මෑතක දී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව සහ බුරෙයිමි කලාපය තුළ ඇති පෞද්ගලික අංශයේ සමාගම් අතර ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේ ය. බුරෙයිමි හි පිහිටි ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ප්‍රමුඛ පෙළේ නියෝජිතායතනවල හිමිකරුවන්/ නියෝජිතයන් හමු වූ තානාපතිවරයා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කළේ ය.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් සපිරීම නිමිත්තෙන්, මස්කට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් අල් බුරෙයිමි හි ක්‍රිකට් කණ්ඩායම් අතර "ශ්‍රී ලංකා තානාපති කුසලානය" නමින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලිය සඳහා තානාපතිවරයා සන්ධ්‍යා කාලයේ දී සහභාගී විය. එතුමා තරගයෙන් ජයග්‍රහණය ලැබූ පාකිස්තාන කණ්ඩායමට ශූරතා කුසලානය පිරිනැමී ය. මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුරෙයිමි හි රාජකීය ඕමාන පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය.

අල් බුරෙයිමි කලාපය තුළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිදු කළ ප්‍රථම නිල සංචාරය නිමිත්තෙන්, අල් බුරෙයිමි හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 නොවැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close