ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරීවරයා 2021 නොවැම්බර් 26 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

සිය ආරම්භක දේශනය සිදු කළ කාර්ය භාර නිලධාරීවරයා, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා හුන් සයෙඩ් අල් නාතාන් මැතිතුමාගේ සුබපැතුම් පිරිනැමූ අතර, ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කළේ ය. තවද, නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයට සමගාමීව, කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා අතර මෑතක දී පවත්වනු ලැබූ ද්විපාර්ශ්වික හමුව පිළිබඳව ද එතුමා සිහිපත් කළේ ය.

කාර්ය භාර නිලධාරීවරයාට ප්‍රතිචාර දැක්වූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකා රජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති සුහද සබඳතා තීව්‍ර වී ඇති බවත්, තම ධුර කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේ ය. කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ද අමාත්‍ය පීරිස් මැතිතුමා අගය කළේ ය.

ශ්‍රී ලංකාවට උප සභාපතිත්වය හිමි වූ බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළත් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා, මින් පෙර එහි උප සභාපතිත්වය දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංගමයේ ප්‍රගතිය උදෙසා ඉටු කරන ලද භූමිකාව අගය කළේ ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් "පරිසරය, ආර්ථිකය සහ වසංගතය" යන තේමාව යටතේ 2021 දෙසැම්බර් මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත 5 වැනි ඉන්දියානු සාගර සමුළුව (IOC) අතරතුර දී මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට සහ අවධානය යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 නොවැම්බර් 28වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close