ටෙහෙරානයේ පැවති ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහන මගින් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ක්‍රීඩා සහයෝගීතාව වැඩි දියුණු කෙරේ

ටෙහෙරානයේ පැවති ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහන මගින් ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ක්‍රීඩා සහයෝගීතාව වැඩි දියුණු කෙරේ

2021 නොවැම්බර් 19-26 දිනවල ඉරානයේ පැවැත්වෙන 35 වැනි ලෝක ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලියට සමගාමීව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉරාන මල්ලවපොර සම්මේලනය සමඟ එක්ව 2021 නොවැම්බර් 23 වැනි දින ටෙහෙරානයේ පිහිටි සිය චාන්සරි පරිශ්‍රයේ දී  ශ්‍රී ලංකා-ඉරාන ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහන-2021 නමින් උළෙලක් සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, ඉරාන මල්ලවපොර සම්මේලනය, ක්‍රීඩා ආශ්‍රිත  කර්මාන්ත, ක්‍රීඩා සංචාරක අංශයේ සංගම් සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් 50 දෙනෙකුට අධික සහභාගිවන්නන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සහ විශේෂයෙන්ම මල්ලවපොර ක්‍රීඩාව සම්බන්ධයෙන් පවත්නා ක්‍රීඩා සබඳතා ශක්තිමත් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් නිර්මාණය කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය.

සමාරම්භක දේශනය සිදු කළ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා සම්භාවනීය අමුත්තන් පිරිස පිළිගත් අතර ක්‍රීඩා මිත්‍රත්වය වෙනුවෙන් කැප වූ සියලුම සහභාගිවන්නන්ට සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාව සහ ඉරානය යන රටවල් දෙකම ක්‍රිකට් සහ මල්ලවපොර යන ක්‍රීඩා හේතුවෙන්  ප්‍රසිද්ධියට පත්ව සිටින බැවින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර  පවත්නා ක්‍රීඩා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවත්නා දීර්ඝ කාලීන බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධාරණය කළ තානාපතිවරයා එවැනි සහයෝගීතාවක් මගින් පුද්ගලාන්තර සබඳතා පුළුල් කෙරෙන බැවින් දෙරට අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැනුම, අත්දැකීම්, ශිල්පීය ක්‍රම සහ ප්‍රවීණත්වය හුවමාරු කර ගැනීම කාලෝචිත ලෙස අවශ්‍ය වන බව සඳහන් කළේය.

ද්විපාර්ශ්වික ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහනේ අන්තර් ක්‍රියාකාරී සැසියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මල්ලවපොර කණ්ඩායම සහ ඉරාන මල්ලවපොර සම්මේලනය යන දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සහ විශේෂයෙන්ම ක්‍රිකට් සහ මල්ලවපොර යන ක්‍රීඩා සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා ක්‍රීඩා සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි ගවේෂණය කළහ. ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩාවේ වත්මන් ප්‍රමිතීන්, වත්මන් අවශ්‍යතා, අභියෝග සහ අවස්ථා, අවශ්‍ය පුහුණුවීම් සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් ඇතුළු විෂය කරුණු කිහිපයක් කෙරෙහි මෙම සැසියේ දී අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩාව ලෝක මට්ටමේ තලයකට නංවාලීම සඳහා ඉරාන මල්ලවපොර සම්මේලනය සිය පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවට මෙම සවිස්තරාත්මක සාකච්ඡාවේ දී සහතික විය.

ටෙහෙරානයේ පැවැත්වෙන 35 වැනි ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය-2021 වැඩසටහන සඳහා සපැමිණි ශ්‍රී ලංකා මල්ලවපොර නියෝජිත පිරිස වෙත ලබා දුන් සියලු පහසුකම් පිළිබඳව තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා ඉරාන රජය සහ හමුදාව ඇගයීමට ලක් කළ අතර ශ්‍රී ලංකාවේ මල්ලවපොර ක්‍රීඩාව සඳහා අවැසි සහය ලබා දීමට ඉරාන මල්ලවපොර සම්මේලනයේ හිටපු මහ ලේකම් ඊබ්‍රාහිම් මෙහ්රාබාන් (1996 ආසියානු ක්‍රීඩා උළෙලේ සහ 1996/97 ආසියානු ශූරතාවලියේ පදක්කම්ලාභී ඉරානයේ හිටපු ඔලිම්පික් මල්ලවපොර ක්‍රීඩක) මහතා ඉටු කළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

තානාපති කාර්යාලය අදාළ  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ සමඟ එක්ව 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සහ ඉරාන මල්ලවපොර සම්මේලනය අතර වෙබිනාර්  සාකච්ඡාවක් සංවිධානය කරන බවත් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ආර්ථික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසමේ (JCEC) මීළඟ සැසිවාරය සඳහා යෞවන හා ක්‍රීඩා කටයුතු කමිටුවක් ඇතුළත් කිරීමේ හැකියාව ගවේෂණය කරන බවත් අන්තර් ක්‍රියාකාරී සැසිය අවසානයේ දී තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මල්ලවපොර නියෝජිත පිරිස නියෝජනය කළ එයාර් කොමදෝරු උදුල විජේසිංහ මහතා තම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් යුක්තව තානාපති කාර්යාලය තුළ මෙවැනි ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව සිය අවංක ස්තුතිය සහ කෘතඥතාව පළ කළේය. අන්තර්ක්‍රියාකාරී සැසියේ ප්‍රතිඵල පිළිබඳව තම දූත පිරිස අතිශයින් සෑහීමකට පත්වන බවත් ඉරාන සංචාරය තුළින් අතිවිශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහනක් සමඟින් සහභාගි වූවන් සඳහා උසස් මට්ටමේ තේ සංග්‍රහයක් ද පිරිනැමිණි. ඉරානයේ මාරූජ් සමාගම විසින් පිරිනමන ලද මල්ලවපොර ක්‍රීඩා මෙවලම් සහිත තිළිණයක් ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ සියලුම සාමාජිකයින්ට පිරිනැමූ අතර අනෙකුත් අමුත්තන්ට ලංකා තේ පැකැට්ටු සහ සිහිවටන තිළිණ කෙරිණි. ක්‍රීඩා මිත්‍රත්ව වැඩසටහන අතරතුර දී “ඉන්දියානු සාගරයේ මුතු ඇටය” නමින් වාර්තා චිත්‍රපටයක් ද ඉදිරිපත්  කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2021 නොවැම්බර් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close