සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කොවිඩ්-19 වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසයි

 

කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහය වීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් (Temasek) පදනම විසින් පරිත්‍යාග කරන ලද BiPAP යන්ත්‍ර 50 ක් සහ වෙන්ටිලේටර යන්ත්‍ර 8ක තොගයක් ලබා ගැනීමට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් පහසුකම් සලසන ලදි.

කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවැති සංකේතාත්මක උත්සවයක දී මෙම පරිත්‍යාගය පිරිනමන ලදි. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දෙන ලදි.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟම ටෙමාසෙක් පදනම විසින් ශ්‍රී ලංකාව වෙත ඉතා වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලිවින්ගාර්ඩ් (Livinguard) මුව ආවරණ මිලියනයක් ඔවුහු මින් පෙර පරිත්‍යාග කෙරූ අතර එම තොගය ඉදිරි පෙළ සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයන්ගේ භාවිතය සඳහා තිළිණ කරන ලදි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ටෙමාසෙක් පදනම ශ්‍රී ලංකාව වෙත සිය අඛණ්ඩ සහය ලබා දී ඇත.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෂිකලා ප්‍රේමවර්ධන මැතිණිය  ජාත්‍යන්තර ටෙමාසෙක් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී බෙනඩික්ට් චොන්ග් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ටෙමාසෙක් පදනම විසින් මෙම පරිත්‍යාගය පිරිනමන ලදි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනුග්‍රහයෙන් සහ ගුවන් මගින් ප්‍රවාහනය කිරීම සඳහා මූල්‍ය සහය ලබා දුන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ (SLBA) අනුග්‍රහයෙන් මෙම උපකරණ තොගය මෙරටට ගෙන්වන ලදි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close