ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) උප සභාපති ධුරය භාර ගත් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඩකා හි පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පරිසර දූෂණය ආශ්‍රිත ව්‍යසනවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටියි

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) උප සභාපති ධුරය භාර ගත් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, ඩකා හි පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පරිසර දූෂණය ආශ්‍රිත ව්‍යසනවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටියි

ඩකා නුවර පැවති 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උප සභාපති ධුරය භාර ගත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, පරිසර දූෂණය ආශ්‍රිත ආපදාවලින් සමුද්‍රීය නාවික මංතීරු සහ සාගර අවකාශය ආරක්ෂා කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලෙස ඉල්ලා සිටියේ ය.

ප්ලාස්ටික් කැබලි, අන්තරායකර සහ හානිකර ද්‍රව්‍ය මුදා හරිමින් 2021 මැයි මාසයේ දී සිදු වූ එම්.වී.- එක්ස්ප්‍රස් පර්ල්  (MV-X Press Pearl) නෞකාවේ ව්‍යසනය ගැන සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා,  මෙමගින් එල්ල වූ පාරිසරික බලපෑම තුළින් ශ්‍රී ලංකාවට පමණක් නොව ශ්‍රී ලංකා මුහුදෙන් ඔබ්බට පිහිටි සාගර පරිසරයට ද දිගු කාලීන ප්‍රතිවිපාක එල්ල විය හැකි බව ප්‍රකාශ කළේ ය. සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, සියලුම සාමාජික රටවල සැලකිල්ලට ලක්ව ඇති, පරිසරයට පමණක් නොව ජීවනෝපායට ද දිගුකාලීන බලපෑම් ඇති කරන එවැනි ආපදා වළක්වා ගැනීමට හෝ අවම කිරීමට ගත හැකි සාමූහික ක්‍රියාමාර්ග යෝජනා කිරීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා බව ප්‍රකාශ කළේ ය. එවැනි සිදුවීම්වල ප්‍රතිවිපාකවල විශාලත්වය සැලකිල්ලට ගෙන පාරිසරික හානිය සහ පාඩු අයකර ගැනීම සඳහා අරමුදලක් ස්ථාපිත කරන ලෙස එතුමා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය. මෙම ව්‍යසනයේ පාරිසරික බලපෑම අවම කිරීම සඳහා සහයෝගය ලබා දුන් සියලුම සාමාජික රටවලට එතුමා සිය ස්තුතිය පුද කළේ ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ නායකත්වය භාර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයට සුබ පැතූ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, පවතින වසංගත තත්ත්වය හමුවේ තීරණාත්මක ඉදිරි වසර දෙක තුළ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ නායකත්වය දරන බංග්ලාදේශය  කෙරෙහි ශ්‍රී ලංකාව සිය අචල විශ්වාසය තබන බව පැවසී ය.  එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ධුර කාලය තුළ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මෙහෙයවීමේ දී පෙන්වූ විශිෂ්ට ක්‍රියා සහ ප්‍රත්‍යාස්ථ  හැකියාව වෙනුවෙන් ඔහු සිය ස්තුතිය පුද කළේ ය. ට්‍රොයිකා හි සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින්, සාමූහික තීරණවලට අවතීර්ණ වීම ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කළ ඉවත්ව යන හිටපු සභාපතිවරයාට, දකුණු අප්‍රිකානු රජයට සහ මහ ලේකම්වරයෙකු නොමැති කාලය තුළ පවා වෙහෙස නොතකා සේවය කළ වැඩ බලන මහලේකම්වරයා සහ එතුමාගේ කාර්ය මණ්ඩලයට ද අමාත්‍යවරයා සිය ස්තුතිය පළ කළේ ය.

බංග්ලාදේශය සිය සභාපතිත්වය දරන කාල සීමාව සඳහා තෝරා ගත් තේමාව වන “ සියල් සපිරි සංවර්ධනයක් සඳහා ඉන්දියානු සාගරයේ පවතින අවස්ථා තිරසාර ලෙස යොදා ගැනීම” පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා, ඉන්දියන් සාගරය වර්ග කි.මී. මිලියන 70 කට අධික ප්‍රදේශයක් ආවරණය කරමින් තෙවැනි විශාලතම සාගරය බවට පත්ව ඇති බවත්, ඉන්දියන් සාගර සීමාව තුළ පවත්නා සාගර සම්පත් සම්බන්ධයෙන් ඉහළ යන තරඟයක් ලොව තුළ දක්නට හැකි බවත් පැවසී ය. අපේක්ෂාවන් වඩාත් තිරසාර ලෙස උපයෝගී කර ගැනීම සඳහා සහයෝගීතාවයෙන් හා සාමකාමීව සම්බන්ධ වීමට කලාපයේ රටවලට මගපෙන්විය හැකි කලාපීය යාන්ත්‍රණවල අවශ්‍යතාවය මෙයින් ඉස්මතු වන බව ප්‍රකාශ කළ එතුමා, තිරසාර සාගර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම ප්‍රධාන තේමා පිළිබඳ පුළුල් දැක්මක් මත ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය කටයුතු කළ බව ද සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා,  ‘නීල හරිත ආර්ථිකය’ යන සංකල්පය යටතේ සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ ප්‍රධාන ස්ථානයක් උසුලන බව ප්‍රකාශ කළේ ය. ස්කොට්ලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP-26) අමතමින් ජනාධිපතිවරයා සිදු කළ දේශනය පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා, තිරසාරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ හදවත බවත් එය සකස් වී ඇත්තේ පාරිසරික අඛණ්ඩතාව පිළිබඳ වටිනාකම විදහා දක්වන බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කොවිඩ්-19 වසංගතය පිළිබඳව අදහස් පළ කළ අමාත්‍යවරයා, ව්‍යසනකාරී සෞඛ්‍ය සහ ආර්ථික බලපෑම් හමුවේ සහ විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීම හේතුවෙන්, සමස්ත මානව වර්ගයාටම එල්ල වූ පෙර නොවූ විරූ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව පැවසී ය.

සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ දොරටු විවෘත කරමින් සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් ආරම්භ කර ඇති බවත්, ජනතාවගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් එතුමා ප්‍රකාශ කළේ ය. සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ  ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා සුවිසල් ශක්‍යතාවක් ඇති බවත්, එමගින් සාමාජික රටවල ආර්ථිකයට දායක විය හැකි බවත් එතුමා සඳහන් කළේ ය. මෙම වසංගතයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ක්‍රියාශීලී ලෙස ආර්ථිකයන් ගොඩනැගීම සඳහා ගෝලීය ප්‍රජාව එක්ව කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ද එතුමා ප්‍රකාශ කළේ ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ නවතම හවුල්කරු වන රුසියානු සමූහාණ්ඩුව සාදරයෙන් පිළිගත් විදේශ අමාත්‍යවරයා, කලාපීය අභියෝගවලට මුහුණ දීම සඳහා මෙන්ම හවුල්කාරීත්ව ප්‍රගතිය සඳහා ඇති බොහෝ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා සහයෝගීතාව ගැඹුරු කරන ලෙස සාමාජික රටවලින් සහ සංවාදයේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර පැවති ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ 23 වැනි කමිටු රැස්වීම සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ආර්ථික කටයුතු (බහුපාර්ශ්වික) අන්සුල් බානු ජාන් මහත්මිය විසින් නායකත්වය දෙන ලදී. 21 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ නියෝජිත පිරිසට ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. ඩී. එස්. සෙනෙවිරත්න මැතිතුමා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආර්ථික කටයුතු (බහුපාර්ශ්වික) අන්සුල් බානු ජාන් මහත්මිය, නියෝජ්‍ය මහ කොමසාරිස් රුවන්ති දෙල්පිටිය මහත්මිය සහ විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා යනාදීහු ඇතුළත් වූහ.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 නොවැම්බර් 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close