ජර්මනිය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 300,000ක් පරිත්‍යාග කරයි

ජර්මනිය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 300,000ක් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 300,000 ක තොගයක් ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලදී. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් මෙම තොගය දිවයින පුරා රෝහල්වල භාවිතයට ගැනීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බේඩ්න්-වුර්ටෙම්බර්ග් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් ධර්ම විවේකචන්ද්‍රන් මහතා විසින් පහසුකම් සපයන ලද ජර්මානු පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී පිරිනමන ලදී. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා වෙත භාර දෙන ලදී.

කොව්ඩ්-19 වෛරසය හඳුනා ගැනීමට සහ එහි ව්‍යාප්තිය පාලනය කිරීමට උපකාරී වන මෙම වටිනා පරිත්‍යාගය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා ජර්මනියේ බේඩ්න්-වුර්ටෙම්බර්ග් ප්‍රාන්තයේ සමාජ කටයුතු, සෞඛ්‍ය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත සිය කෘතඥතාව පළ කළේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අනුග්‍රහයෙන් ගුවන් මගින් ප්‍රවාහනය කරන ලද මෙම පරිත්‍යාගය පිටත් කර හැරීම පිළිබඳ කටයුතු ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිනිය සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close