4 වැනි ෂැංහයි CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සමාගම් 25 ක් සහභාගි වේ

4 වැනි ෂැංහයි CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා සමාගම් 25 ක් සහභාගි වේ

4 වැනි චීන ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ (CIIE) ප්‍රදර්ශනය 2021 නොවැම්බර් 10 වැනි දින සාර්ථක ලෙස නිමාවට පත් විය. සංවිධායකයන්ට අනුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 70.72 ක පමණ වටිනාකමින් යුත් තාවකාලික ගනුදෙනු මෙම ප්‍රදර්ශනයේ දී අවසන් කෙරිණි. ව්‍යාපාරික නියෝජිතයන් ඇතුළු මිලියන ගණනක පිරිසක් මෙම ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණියහ. එබැවින් වසංගතය තත්ත්වය මධ්‍යයේ වුවද මෙම ප්‍රදර්ශනය සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටි නැරඹීමට එක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලාංකික සමාගම් 25ක් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීම ඉතා දිරිගන්වන සුළු ක්‍රියාවක් බව පැවසීය. චීන ව්‍යාපාරිකයන් හමුවීමට මෙන්ම සිය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා පාරිභෝගිකයන් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීමට මෙම සමාගම්වලට හැකි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  ලබා දුන් සහය පිළිබඳව ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ. මෙම ප්‍රදර්ශනය තුළින් බොහෝ ප්‍රයෝජන අත්පත් කර ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට අවස්ථාවන් උදා විය.

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය මගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන සජීවීව විකාශනය කෙරුණු අතර නරඹන්නන් 330,000ක් ඊට ආකර්ෂණය කරගන්නා ලදි.

ලක්සල නිෂ්පාදන වලින් සමන්විත මැණික් හා ස්වර්ණාභරණ අංශයට බොහෝ නරඹන්නන් ආකර්ෂණය විය. පකිස්තානය, ඉන්දියාව සහ ඉතාලිය යන රටවල ප්‍රදර්ශකයන් තානාපති කොහොන මැතිතුමාට සිය ප්‍රදර්ශන කුටි වෙත පැමිණෙන ලෙස ආරාධනා කෙරූ අතර ඔවුහු ශ්‍රී ලංකාවේ මැණික් පාෂාණවල විශ්මය ජනක එකතුවක් ප්‍රදර්ශනය කළහ. ලබන වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ද අනුග්‍රහය ඇතිව තවත් සමාගම් මෙම ප්‍රදර්ශනයට පුද්ගලිකව සහභාගී වී ශ්‍රී ලංකාවේ මැණික් පාෂාණ ප්‍රදර්ශණය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව තානාපති කොහොන මැතිතුමා පැවසී ය.

CIIE මැණික් පාෂාණ සමුළුවේ ප්‍රධාන දේශකයා වූයේ ආචාර්ය කොහොන මැතිතුමාය. මැණික් කර්මාන්තය නවීකරණය කර එය රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් බවට පත් කිරීම සඳහා රජය අනුගමනය කරන සැලසුම් පිළිබඳව එතුමා මෙහිදී අදහස් පළකළේ ය.

මෙම CIIE ප්‍රදර්ශනයේ ප්‍රවාහන හා මෙහෙයුම් අංශය තුළින් සිය වරාය පහසුකම් සහ සේවාවන් ඉස්මතු කිරීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) හැකි විය. ඊට අමතරව වරාය කර්මාන්තපුරයේ පවත්නා ආයෝජන අවස්ථා ද ප්‍රවර්ධනය කෙරිණි. තොග භාණ්ඩ සඳහා ඉහළ යන ඉල්ලුමට සරිලන සේවාවක් ලබා දීම සඳහා නවීන පහසුකම් සහ නිපුණ ශ්‍රම බලකායක් ද සහිතව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සූදානමින් පසුවන බව එහි ප්‍රධාන විධායක නිලධාරියා තානාපතිවරයාට පැවසී ය. තවද වරාය කර්මාන්ත පුරය සතුව වර්ග කිලෝමීටර දෙකකට වැඩි භූමි ප්‍රමාණයක් ඇති බවද ඔහු පැවසීය. මෙම භූමිය ව්‍යාපාර සහ කර්මාන්ත පිහිටුවීම සඳහා වෙන් කොට ඇත. සාර්ථක උපායමාර්ගික වැඩපිළිවෙළක් වන 'PPC': වරාය, කර්මාන්ත පුරය සහ නගරය’ යන ආකෘතිය මෙම වරායේ කර්මාන්ත පුරය සඳහා අනුගමනය කරනු ලැබේ. තම නිෂ්පාදන කම්හල්වලට ආසන්නයෙන් වරාය පිහිටා තිබීම හේතුවෙන් පිරිවැය සහ කාලය සැලකිය යුතු ලෙස ඉතිරි කර ගැනීම සඳහා මෙමගින් ආයෝජකයන්ට අවස්ථාව උදා වේ

CIIE හි ශ්‍රී ලංකා සහභාගීත්වය සාර්ථක කර ගැනීම සඳහා නොපසුබස්නා සහයෝගයක් ලබා දුන් පිරිසට ආචාර්ය කොහොන මැතිතුමා සිය ස්තුතිය පළ කළේ ය. ප්‍රායෝගික සහ හරවත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සියලුම දෙනා වඩා නිර්මාණශීලීව කටයුතු කළ යුතුබව එතුමා පැවසීය. රට තුළ අපනයන ක්ෂේත්‍රය ඉහළ නැංවිය යුතුය. අනුගමනය කළ හැකි එකම ක්‍රමවේදය වන්නේ අපගේ අපනයන වැඩිකර ගැනීම සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. ලබන වසරේ පැවැත්වෙන CIIE ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා දැන් සිටම සූදානම් වන ලෙස එතුමා සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 නොවැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close