ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පුළුල් සහයෝගිතාවක් අපේක්ෂා කරයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සිවිල් ගුවන් සේවා අංශය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ පුළුල් සහයෝගිතාවක් අපේක්ෂා කරයි

 

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා (12) දින නවදිල්ලියේ දී ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ශ්‍රී ජ්‍යෝතිරාදිත්‍ය සින්ඩියා මැතිතුමා හමුවූ අවස්ථාවේ දී ඉන්දියාව සමඟ පවත්නා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කළේය.

අමාත්‍ය සින්ඩියා මැතිතුමා විසින් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගන්නා ලදි. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා කොළඹ සිට පැමිණි මංගල ගුවන් යානයෙන් ඉන්දියාවට ළඟා වූ ශ්‍රී ලංකා දූත පිරිස වෙත ලබාදුන් සත්කාර සහ විශිෂ්ඨ සේවය පිළිබඳව මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළේ ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය ස්තුතිය පුද කළ අමාත්‍ය සින්ඩියා මැතිතුමා ශ්‍රී ලංකා නියෝජිත පිරිසගේ සහභාගීත්වය හේතුවෙන් සමාරම්භක උත්සවය වර්ණවත් වූ බව පැවසී ය.

කොවිඩ් වසංගත තත්ත්වයට පෙර ක්‍රියාත්මක වූ කාලසටහන්වලට අනුව දෙරට අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන ලෙස මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර පුළුල් කරන ලද ගුවන් සේවා හරහා විශේෂයෙන්ම බජට් ගුවන් සේවා හරහා වැඩි සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා අමාත්‍යවරයාගේ සහය ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවට පැමිණෙන මුළු සංචාරක පිරිසෙන් 20-25%ත් අතර ප්‍රතිශතයක් ඉන්දීය සංචාරකයන් වන බවත් මෙම ප්‍රමාණය සංචාරක ව්‍යාපාරය තුළින් හිමි වන විශාලතම ප්‍රතිශතය බවත් එතුමා සඳහන් කළේ ය.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් පිරිනමන ලද කැලණිය රජමහා විහාරයේ බිතුසිතුවම් දෙකෙ හි ඡායාරූප පිළිබඳව සිහිපත් කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා බුද්ධගයා සහ වරනාසි යන බෞද්ධ සිද්ධස්ථාන කෙන්ද්‍ර කොටගත් අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක තුළ ද එවැනිම ඡායාරූප ස්ථිර ලෙස ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව පැවසීය. අමාත්‍ය සින්ඩියා මැතිතුමා මෙම යෝජනාව තහවුරු කරමින් ප්‍රතිචාර දැක්වීය.

2002 වර්ෂයේ දී රාජ්‍ය සේවයට පිවිසි අමාත්‍ය සින්ඩියා මැතිතුමා මින් පෙර විදුලි සංදේශ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය (ස්වාධීන භාරය යටතේ) ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 නොවැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close